Spread the love


ශ්‍රී ලංකාව 2025දී ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කරමු යන අරමුණ පෙරදැරිව ගම්පහ දිස්ත්‍රික්කයේ උපදේශන නිලධාරීන් දැනුවත් කිරීමේ නියමු වැඩසටහන ඊයේ (23) ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන්, මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා පාස‍ල් උපදේශන නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනිණි. ඒ මගින් ළමා ශ්‍රමය වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ලෙස යෝජනා වී ඇති අ.පො.ස (සාමාන්‍ය පෙළ) දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා වෘත්තීය පුහුණු ආයතන සහ රැකියා අවස්ථා පිළිබඳවත් ළමා ශ්‍රමිකයන් සඳහා ඇති නීතිරීති පිළිබඳවත්  දැනුවත් කිරීමට මෙම පුහුණුව ලබන නිලධාරීන් කටයුතු කළ යුතුය.

මේ අවස්ථාවට එක්වූ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් (බස්නාහිර කලාප 3) බී.පී.පී.එස්. දිල්ශාරි මහත්මිය සඳහන් කළේ, කම්කරු දෙපාර්තමේන්තුව මගින් ළමයින් යොදා නොගත යුතු යැයි සඳහන් කර ඇති රැකියාවල යෙදවීමේදී  වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බවත්, එය වළක්වාලමින් 2025දී ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කරමු යන්න අරමුණු කර ගනිමින් මෙදින වැඩසටහන ආරම්භ කරන බවයි.

තවද ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන දරුවන් පාසල්ගත කිරීම, ඔවුන් පරිවාසගත කිරීම මෙන් ම  නීතිමය රාමුව තුළ නියමිත වයසේදී එම දරුවන් වෘත්තීය පාඨමාලාවන් සඳහා යොමු කරමින් දරුවන්ගේ අයිතිවාසිකම්  ආරක්ෂා කරන ගමන් ම ඔවුන්ගේ සංවර්ධනයට අවශ්‍ය දැනුම ලබා දීමටත් මෙසේ පුහුණුව ලබන නිලධාරීන් කටයුතු කිරීම අවශ්‍ය බව ද එතුමිය සඳහන් කළාය.

මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ සහකාර කම්කරු කොමසාරිස් (මීගමුව) සී.ඒ.එස්.සී. පතිරාජ, මානව සම්පත් සංවර්ධන නිලධාරී ඩබ්.එම්.ජී. බණ්ඩාර, දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී චන්දික කොස්ගොල්ල යන මහත්වරුන් විසිනි.