Spread the love


හොර තරාදි භාවිතා වහාම නතර කළයුතු බවත් ගොවි ජනතාව  සූරාකෑම නැවැත්වීම සඳහා කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සමග වහාම හොර තරාදි භාවිතා කරන්නන් නීතියේ රැහැනට ගැනීම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් සඳහා භාවිතා කරන බොහෝ තරාදි නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ගොවි ජනතාවගේ නිෂ්පාදන මිල දී ගැනීමේ දී ඔවුන් සූරා කෑමේ වැඩ පිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මකවෙයි.

ඊයේ (13) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බුලත්සිංහල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් ලබා දුන් යුරියා පොහොර මල්ලක නිසි බරට පොහොර නොතිබුනු බවට ගොවීන් චෝදනා කිරීම නිසා පොලිසිය මැදිහත්ව විද්යුත් බිම් තරාදියකින් කිරා බැලුවිට නිසි බරින් අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබූ බවට වාර්තා වී තිබිනි. එම කාරණය සැළකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධව අදහස් කළ අමාත්‍යවරයා ගොවි ජනතාව විසින් වගා කරන බෝග මිල දී ගැනීමේ දී බොහෝ    වෙළෙඳුන් බර කිරනු ලබන්නේ එල්ලෙන දුනු තරාදිවලිනි. මෙම තරාදිවලින් බහුතරයක් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම නිසා ගොවින්ට ලැබිය යුතු ආදායමෙන් විශාල ප්‍රමාණයක්  වෙළෙන්දන් විසින් ගසා කන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා මෙම හොර තරාදි භාවිතය වළක්වාලීම සඳහා වහාම කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

අනුරාධපුර පේමඩුව ප්‍රදේශයේ දී ද මෙවැනි ම ආකාරයෙන් දුනු තරාදියෙන් පොහොර කිරා බර අඩු බවට චෝදනා කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා අධිකරණය ඉදිරියේ දී එම අඩු බරකින් යුක්තබවට චෝදනා කළ යුරියා මළු 14 කිරා බැලීමේ දී 13කම නිසි බරින් යුක්තව පොහොර තිබු බවත්, එක් මල්ලක පමණක් ග්‍රෑම් 60ක් අඩු වී තිබු බව  ඔප්පු වූ බව ද සඳහන් කළේය.

එමනිසා රටපුරා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද ගසා කන හොර තරාදි ජාවාරම නැවැත්වීම සඳහා  වැඩ පිළිවෙළක් සකසන ලෙස තමන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් සෑම තරාදියක්ම වසරකට වරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති කිරුම් මිණුම් අංශයෙන් ලියාපදිංචි කළ යුතුය. නමුත් අප රටේ භාවිතා කරන බොහෝ තරාදි එසේ ලියාපදිංචි නොකළ ඒවා බව හෙළි වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.