Spread the love

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීමට නම් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දිවංගත හිටපු කෘෂිකර්ම අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීමතාණන්ගේ 40 වන ගුණ සමරු උත්සවය අද(20) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි. මෙම සමරු උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, හෙක්ටර් කොබ්බෑකඩුව පවුල නියෝජනය කරමින් පාලිත කොහොන මහතා සහ එම පවුලේ උදවිය ද, රාජ්‍ය අමාත්‍යවරු වන ලසන්ත අලගියවන්න, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සුරේෂ් රාඝවන් යන මහත්වරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ගොවිජන නියෝජිතයින් ද සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා –
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීමතාණන්ගේ දර්ශනය තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීම බව එතුමා පිළිගෙන තිබුණා. ඒ අනුව එතුමා අනුගමනය කළ කෘෂිකර්ම වැඩපිළිවෙල යටතේ විදේශ රටවලින් ආනයනය කරනවාට වඩා, අපට අවශ්‍ය ආහාර බෝග අප රට තුළම වගා කිරීම සිදු කළ යුතුය යන ප්‍රතිපත්තිය අනුගමනය කළා. එම ප්‍රතිපත්තිය අඛණ්ඩවම ඉදිරියට ගෙන ආවා නම්, අද අප මුහුණපාන මෙම ආර්ථික අර්බුදය හෝ ආහාර හිඟයට අපි කිසිසේත්ම මුහුණපාන්නේ නැහැ. රටින් ආනයනය කරනවා වෙනුවට, වෙනත් රටවලටත් කන්න දෙන්න පුළුවන් කෘෂිකර්මාන්තයක් රට තුළ බිහි කිරීමට එතුමාගේ ප්‍රතිපත්තිවලට හා වැඩපිළිවෙලට හැකියාවක් තිබුණා.

මෙහිදී අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,

හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමඟ කටයුතු කළ දක්ෂම නායකයෙක්. මේ රටේ දේශපාලන ඉතිහාසයේ විශිෂ්ටතම කැබිනට් මණ්ඩලය ලෙස මම පිළිගන්නේ, 1970 පත් වූ කැබිනට් මණ්ඩලයයි. එම අමාත්‍ය මණ්ඩලයේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් පත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදු කළා. එතුමා විසින් ක්‍රියාත්මක කළ ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය සහ කෘෂිකර්මය පිළිබඳ ප්‍රතිපත්තිය සැබවින්ම ජාත්‍යන්තර රටවල් අවබෝධ කරගන්නේ ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පාලනය අනුගමනය කරන රටක් වශයෙනුයි. මේ නිසා එතුමාගේ කෘෂිකාර්මික හා ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම හා බද්ධ වී ක්‍රියාත්මක වුණා.

එතුමා දියත් කළ වගා වැඩපිළිවෙල නිසා එවකට අපේ රට මිරිස්වලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්වුණා. පොළොන්නරුවේ මිරිස් වගා කළ බොහෝ ගොවියෝ මිරිස්වලින් ලද ආදායමෙන් ගෙවල් හැදුවා. ඒ වගේම කාර් මිලදී ගත්තා. මේ ගෙවල් අනිත් මිනිසුන් හැඳින්වූයේ මිරිස් ගෙවල් වශයෙන්. ඒ වගේම මිලදී ගන්නා ලද කාර් මිරිස් කාර් ලෙසත් හඳුන්වනු ලැබුවා. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ආරම්භ කළ වගා වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම අපේ රටේ ඛේදවාචකයක්. එතුමාගේ ප්‍රතිපත්තියේ ඇති වැදගත්කම අපට එදාට වඩා අද දැනෙනවා. මේ රට කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීමට නම්, හෙක්ටර් කොබ්බෑකඩුව මැතිඳුන් අනුගමනය කරන ලද කෘෂිකාර්මික ප්‍රතිපත්තිය එකම විසඳුම ලෙස මමත් පිළිගන්නවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීමතාණන් අනුස්මරණ දේශනයේ ප්‍රධාන සමරු දේශනය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කරනු ලැබීය.