Spread the love

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පෙරේදා (22) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුබෝවිටියන තේ කර්මාන්ත සමාගමට අයත් දෑරංගල රජයේ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විනි.

රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව වත්මන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ සංවිධාන ශක්තියෙන් මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනයක්ද පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය CIC පොහොර සමාගම දක්වා ඇත.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් මෙන්ම ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරිනි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) සහ සුව උදාන වැඩසටහන මෙහෙයුම් ප්‍රධානී ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා කියා සිටියේ……

දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන සෞඛ්‍ය පහසුකම් සදහා යොමු නොවන ජනතාව ඉළක්ක කර පවත්වනු ලබන මෙම ජංගම සායන තුළින් නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග කල්තියා හදුනා ගැනීම, ප්‍රතිකාර පිළිබඳ ව සහ රෝගවලින් ආරක්ෂාවීමට උපදෙස් ලබාදීම, හදුනාගත් රෝගීන් ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිමට පියවර ගන්නා බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්, කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ සභාපති සුනෙත් ශාමින්ද සමරසිංහ මහතා ඇතුලු නිලධාරීන් සහ තේ පර්යේෂණ ආයතනය, තේ මණ්ඩලය, කුඩා තේ වතු සමාගම, තේ ශක්ති ආයතනයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.