Spread the love

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර දක්වයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම සිකුරාදා (මාර්තු මස 01) දින බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු සරඹ භූමියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ විජයබාහු පාබල රෙජිමේන්තු ධජය 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරිතුමන් වෙත පිරිනමනු ලැබීය.

නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී කටයුතු කරනු ලබයි.

නුදුරේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය,ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළත් විය.