Spread the love

2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද (08) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින දෙකකින් කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේය.

ඒ අනුව අද දිනයේ සිට 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක දී පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරේ.

පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණි.

මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් පත් කැඳවීම මේ වන විට සිදුකෙරේ.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් කැඳවන අතර එය එළඹෙන 19 දක්වා සිදුකිරීමට නියමිතය.