Spread the love


නිමල් රාජපක්ෂ-

.

මෙරට සහල් ඒකාධිකාරිය බිද දැමීම සදහා අති නවින තාක්ෂණයෙන් යුතු සහල් සැකසුම් ම්ධ්‍යස්ථානයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම අති නවීන තාක්ෂණයෙන් යුතු සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජයේ එකඟතාවය පළ කර තිබේ. එය දකුණු පලාතේ අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයේ ඉදිකොට සහල් මාෆියා බිද දමා ජනතාවට සහල් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද මහින්ද අමරවීර ඇමතිවරයා පැවසුවේය.

එම සහල් සැකසුම් මධ්‍යස්ථානය බොහෝ දුරට අඟුණකොපැලැස්ස ජඳුර හා ගුරුවල ගම්මාන දෙක කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන අතර රැකියා විරහිත තරුණ ප්‍රජාව සහභාගි කර ගනිමින් සමුපකාර ක්‍රමයක් යටතේ මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට නියමිතය.

මීට සති දෙකකට පෙර චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයක දී තමන් එම රජයෙන් මේ සම්බන්ධව ඉල්ලිමක් කළ බවත්, ඒ අනුව ඊට යහපත් ප්‍රතිචාර පළ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (06) ගුරුවල හා ජඳුර ගම්මාන ආශ්‍රිතව පිහිටුවා ඇති බිම්මල් නිෂ්පාදන ගම්මානය සඳහා තවදුරටත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම බිම්මල් නිෂ්පාදන ගම්මානය යටතේ මේ වනවිට පවුල් 200කට අධික පිරිසක් සාර්ථක ලෙස බිම්මල් වගා කරන අතර ඒවා අලෙවි කිරීම මගින් ඔවුන් දෛනිකව විශාල ආදායමක් උපයනු ලබයි.

ඊයේ දිනය තුළ රුපියල් මිලියන 10ක උපකරණ හා මුල්‍ය ප්‍රතිපාදන බිම්මල් නිෂ්පාදන කරුවන්ට බෙදාදීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.