Spread the love

යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

යුක්තිය මෙහෙයුම පිළිබඳ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පානදුර පොලිස් ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටම ගිනි ඇවිලී තිබූ අවස්ථාවක එම තත්ත්වය සන්සුන් කිරීමේ වගකීම මේ අමාත්‍යාංශය භාර ගැනීමත් සමග අපට හිමිවුණා. ජනතාවට රැකී රක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් එකල පැවතුණා. විදේශකයින් රටට පැමිණුනේ නැහැ. මෙවැනි තත්ත්වයක පැවති රට සන්සුන් කිරීමට දැඩි තීරණ ගැනීමට අපට සිදුවුණා. නමුත් අවසානයේ ඒ අභියෝගය ජය ගැනීමට අපට හැකි වුණා. එසේ නොවුනා නම් තවදුරටත් ජනතාවට ඉන්ධන පෝලිම්වල ගෑස් පෝලිම්වල දුක් විඳීමට සිදුවීමට තිබුණා.

කෙසේ හෝ එම තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව අපට පැවැති විශාලම අභියෝගය වූයේ රටේ සියලු ප්‍රදේශ ගිලගනිමින් පැවති මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමයි. වත්මන් වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු විශේෂ කමිටුවක්‌ පත්තර මේ තත්ත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් මාස කීපයක් තිස්සේ සිදුකිරීමෙන් අනතුරුව ඒ සඳහා වන වැඩපිළිවෙලක් අප සකස් කළා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා එම තනතුරට පත් කරන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව කිසිවෙකුගේත් බලපෑමකට යටත් නොවී ස්වාධීනව යුක්තිය මෙහෙයුම ආරම්භ කර, ක්‍රියාත්මක කරන ලෙස මා පොලිසියට උපදෙස් ලබා දුන්නා.

මීට පෙර සිදු ආකාරයට අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් විවිධ පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත් වී නිදහස් කිරීමේ සම්ප්‍රදාය අප වෙනස් කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සෘජුව කටයුතු කරනවා.

ඒ අනුව දිවයින පුරා සාර්ථකව මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර ඒ සඳහා විශාල බලපෑම්ද එල්ලවනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටත් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස විවිධ බලපෑම් එල්ල වනවා.

රටේ සුළුතරයක්ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ සුළුතර පිරිස හෝ ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට මා මේ අමාත්‍ය ධූරය දරන තුරු අවස්ථාව හිමි වන්නේ නැහැ. යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්. අප ආරම්භයේදී ඉලක්ක කල පරිදිම මේ වන විටත් රට තුළ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. අගනුවර සහ ඉන් පිටත කිසිදු භේදයකින් තොරව ජනතාවගේ විශාල ආශිර්වාදයක් මේ වෙනුවෙන් අපට ලැබෙනවා.එය අපට විශාල ශක්තියක්.

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුමටද දේශපාලනය ගාවා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරනවා. අපට අවශ්‍ය සෑම දෙනාගේම සහයෝගයෙන් මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටයි.