Spread the love


නිමල් රාජපක්ෂ-

ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දුනීසියානු තානාපති තුමිය හා එම සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන තායිලන්ත, මියන්මාර, මැලේසියානු, වියට්නාම් රටවල මෙරට තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, ඇතුළු පිරිසක් 4 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අතර සුහද හමුවක් පවත්වන ලදි.

පළාතේ ව්‍යවසායකත්වය විදහා දක්වන දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයක් මෙහිදී සූදානම් කොට තිබූ අතර මෙම නිෂ්පාදන රැසක් පිළිබද තානාපතිවරුන්ගේ අවධානය යොමු වීම තුළ ආසියාන් සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වල වෙළද පල සදහා මෙම නිෂ්පාදන යොමු කිරීම සඳහා සූදානම් බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.



මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව පැවති උත්සව සභාවේදි පළාතේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සහ ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අවස්ථාව සලසා ගනිමින් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අනුශාසක
සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. අස්ලාම් මහතා විසින් පළාත් සංචාරක ක්ෂේත්‍රයේ අරමුණ හා ඒ සදහා ඇති ආයෝජන අවස්ථා පිළිබඳවත් ඒ සඳහා පුළුල් අවස්ථාවක් ආසියාන් කලාපයේ ආයෝජකයින් වෙත නිර්මාණය වි ඇති බවත් දක්වමින් විශේෂ දේශනයක් පැවැත්වීය. ඊට අමතරව අනෙකුත් ආයෝජන හා වෙළද ප්‍රවර්ධනය අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරිමක් ද සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය ප්‍රකාශ කොට සිටියේ මධ්‍යම පළාත සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය අතර පවතින සුහද සම්බන්ධතාව මත මෙම හමුව සාර්ථකව සිදුකර ගැනීමට ලැබීම පිළිබද තමන් ඉතා සතුටුවන බවත්, ආසියාන් කලාපයේ ආයෝජකයින් හා සංචාරකයින් වෙත මධ්‍යම පළාතේ ආරාධනය ගෙනයාමට තමන් හා තම සාමාජික රටවල්වල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් කටයුතු කරනු ඇති බවත් ලෝකෙයේ ජනගහනයෙන් සියයට 9ක ප්‍රමාණයක් මෙම කලාපයේ ජීවත්වන බවත් එය මිලියන 670 ඉක්මවා යන බවත්, එකම භූ කලාපයේ රටවල් ලෙස පහසුවෙන් මෙම වෙළද වාසිය මධ්‍යම පළාතේ ව්‍යවසායකයින්ට ලබා ගත හැකි බවත් ඒ සදහා තම සහාය දක්වන බවත් ප්‍රකාශ කොට සිටියේය.
තානාපති වරුන් වෙත වෙනස් අත්දැකීමක් ලබා දීම හා සංස්කෘතික සම්බන්ධතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම උත්සව සභාවෙන් අනතුරුව සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කොට තිබු අතර එය තානාපතිවරුන්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත් විය.
මෙම අවස්ථාවට තායිලන්ත තානාපති පේටුන් මහපන්නාපොන් මහතා, වියට්නාම් තානාපති හෝ තී තැන් ට්‍රක් මහත්මිය, මැලේසියානු මහකොමසාරිස් බඩ්ලි හිෂාම් මහතා, මියන්මාර් කොන්සල්වර තෙට් සොව් ටෝ මහතා ඇතුළු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් මෙන්ම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය මහතා, එහි අධ්‍යක්ෂක පි. වර්ණකුල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.