Spread the love

ශ්‍රී ලංකාවේ ධනවත් ප්‍රභූ පැලැන්තියට පමණක් සීමා වී තිබෙන ගුවන් සේවාවන් සාමාන්‍ය මහජනතාවටත් පරිහරණය කිරීමට හැකි වන පරිදි හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ බජට් ගුවන්සේවා ආරම්භ කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
ඇමතිවරයා මෙම අදහස් පළ කලේ 78 වන ජාත්‍යන්තර ගුවන්සේවා දිිනය සහ ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය ආරම්භ වී වසර 110 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සැමරුම් උත්සවයක් පසගියදා කටුනායක ගුවන්සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති අවස්ථවේදීය.


.
ලෝකයේ බොහෝ රටවල අද සාමාන්‍ය මහජනතාවට අඩු මුදලට එහෙත් ආරක්ෂිත ගුවන්සේවාවන් ආරම්භ කර තිබෙනවා ,නමුත් ලංකාවේ එවැනි ගුවන්සේවා නැහැ එනිසා ඒ පිළිබඳව වැඩ පිලිවෙලක් සැකසීමට කටයුතු කලයුතු වෙනවා.එමෙන්ම මේ රටේ තරුණ තරුණියන් ගුවන් නියමුවන් මෙන්ම ගුවන්සේවා ක්ෂෙත්‍රයේ රැකියා අවස්ථාවන් සඳහා යොමු කලයුතු වෙනවා. ඒ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණය උපයාගත හැකි වෙනවා.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට පැමිණෙන සෑම ගුවන් යානාවකම ආරක්ෂාව තහවුරු කරමින් ඒවා ගොඩ බැස්සවීමට හා නැග්ගවීමට නිසි ලෙස ආරක්ෂිත විධිවිධාන සහිත ගුවන් තොටුපොළවල් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් අපගේ සිවිල් ගුවන්සේවාව අන්තර්ජාතික ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන බවට සහතිකයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම සැමරුම් උත්සවයේදී හෙලිවූ කරුණු අනුව ,මෙවර ජාත්‍යන්තර ගුවන්සේවා දිිනයේ තේමාව වී ඇත්තේ ගෝලීය ගුවන්සේවා සංවිධානය උදෙසා නවෝත්පාදනයන් ඔස්සේ ඉදිරියට යනුවෙනි . (Advancing Innovation for Global Aviation Development ).පලවන හා දෙවන ලෝක යුධ කටයුතු වෙනුවෙන් ගුවන් යානය අවියක් ලෙස භාවිතා කිරීම හේතුවෙන් ලෝක වාසින්ට අතිමහත් විනාශ කාරි සහ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය.එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ඇතිවීම වලක්වා ගැනීමටත් ,මිනිසාගේ යහපත වෙනුවෙන් කර්මාන්තයක් ලෙස ගුවන්සේවාව ලොවට දායාද කිරීමේ උදාර අරමුණින් යුතුව චිකාගෝ සම්මුතිය නමින් ප්‍රගද්ප්තියක් හඳුන්වා දෙන ලදී . 1944 වසරේ දෙසැම්බර් මස 07 දින ඇමරිකාවේ චිකාගෝ නගරයේදී එම ප්‍රඥප්තියට රටවල් 52 ක නියෝජිතයන් අත්සන් කල අතර 1948 ජුනි මස 01 දින ශ්‍රී ලංකාවද සම්මුතියට අත්සන් කරන ලදී.
එමෙන්ම යාන්ත්‍රික බලයෙන් ජව ගැන්වූ පලමු ගුවන් යානයක් සාර්ථකව ගුවන්ගත කිරීම සිදුවන්නේ මෙයින් වසර 110 ප්‍රථම 1912 වසරේ දෙසැම්බර් 07 වන දිනය .ඒ කොළඹ තුරඟ තරඟ පිටියේදී ය.
එබැවින් ගුවන්සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහිවූ චිකාගෝ සම්මුතිය අත්සන් කර වසර 78 ක් හා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කටයුතු ආරම්භ කර වසර 110 පිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලදී .
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
මෙම උත්සව අවස්ථාවේදී ගුවන් නියමුවන් සඳහා මෙතෙක් නිකුත් කල ගුවන් නියමු බලපත්‍රය වෙනුවට ඩිජිටල් ස්මාර්ට් කාඩ් බලපත්‍රය නිකුත් කිරීම, ගුවන්සේවා ක්ෂෙත්‍රය සම්බන්ධ දීප ව්‍යාප්ත නව නිපයුම් තරඟාවලියක් ආරම්භ කිරීම සහ නිගම්බු එරෝමොඩල ආයතනය විසින් නිෂ්පාදිත මානව බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානය පිළිබඳව හඳුන්වා දීමද සිදුකරන ලදී.