Spread the love

නිමල් රාජපක්ෂ-

තැලසීමියා රෝගයට ජාතික වශයෙන් ගෙනයන ව්‍යාපාරයක් නොමැති හෙයින් නව අධ්‍යක්ෂවරයෙක් යටතේ තැලසීමියා පිළිබද විශේෂ ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භකරන කර , ජාතික තැලසීමියා කවුක්සිලයද නැවත සක්‍රීය කර ප්‍රතිකාර ‍හා පාළන කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අවධාරණය කරන ලද්දේ ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව සංවිධානය කරතිබූ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.

මෙම ජාතික සැමරුම් උත්සවය ලංකා තැලසීමියා සංවීධානය මගින් සංවිධානය කර තිබූ අතර එය පසුගිය දින කුරුනෑගල Bluesky හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියාසිටියේ….
තැලසීමියා රෝග ප්‍රතිකාර හා අනෙකුත් කටයුතු සදහා මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යම් මුදලක් වාර්ෂිකව වෙන් කලත් ඒ සදහා නිශ්චිත ක්‍රමවත්, වැඩපිලිවෙලක් තවමත් සකස් වී නොමැති බවය. එබැවින් ඉදිරියේදී මැලේරියා මර්ධන ව්‍යාපාරය වැනි ඇති කරනු ලබන නව ව්‍යාපාරය මගින් තැලසීමියා රෝග ප්‍රතිකාර, පාලන, ජනතාව දැනුම්වත් කිරීම වැනි කටයුතු ඇතුලුව අනෙකුත් කටයුතු විධිමත්ව, ගුණාත්මකව පවත්වාගෙන යාමට හැකියාව ඉන් ලැබෙන බවද කීය.

2010 වර්ෂයේදී ජාතික තැලසීමියා කවුන්සිලය ස්ථාපිත කලමුත් මේ වනවිට එහි සක්‍රීයතාවයයේ යම් පසුගාමීත්වයක් පෙන්නුම් කරන හෙයින් එය කඩිනමින් සක්‍රීය කරමින් මෙරට තැලසීමියා රෝගී ප්‍රතිකාර හා සත්කාර කටයුතු ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත්, ඒ සදහා සියලුම තැලසීමියා ඒකක වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, රුධිරය සම්භන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, පෙර සම්භන්ධ වී සිටි ආකාරයෙන්ම නැවතත් සම්භන්ධ වන ලෙසට ලේකම්වරයා ඉල්ලීමක්ද කර සිටියේය.

ඇට මිදුළු බද්ධ කිරීම (Bone marrow transplant) මේවන විට කොළඹ ළමා රෝහලේ කාමර දෙකක් තුළ ක්‍රියාත්මක වන බවත්, එයින් මාසයකට රෝගීන් දෙදෙනෙකුගේ බද්ධ කිරීම් සිදුකරන බවත් පෙන්වා දුන් ලේකම්වරයා කියා සිටියේ, මේ වසර තුළදී යාපනය ශික්ෂණ රෝහලෙත්, මහනුවර ජාතික රෝහලෙත් ඇට මිදුලු බද්ධ කිරීම සදහා (Bone marrow transplant) එම ඒකක දෙක ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කර ඇති බවය. එම ඒකක ආරම්භ කිරීමත් සමග බද්ධ කිරීම් ප්‍රමාණය වාර්ෂිකව 40ක්,50ක්, දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද පැවසීය.

එමෙන්ම හලාවත, කිරිබත්ගොඩ, අනුරාධපුරය, කුරුණෑගල, බදුල්ල යන තැලසීමියා ඒකක වල රෝගීන් ලියාපදිංචි ලේඛණ කඩිනමින් ආරම්භ කලයුතු අවශ්‍යතාවය පෙන්වා දුන් ඒ මහතා, සෑම පළාතකම ස්ථාන හදුනාගෙන නව මධ්‍යස්ථානය 4ක් හෝ 5ක් ආරම්භ කිරීම තම ආප්ක්ෂාව බවද කීවේය.

ජාත්‍යන්තර තැලසීමියා දිනය සෑම වසරකම මැයි මස 08 දිනට යෙදී ඇත. තැලසීමියා යනු ජානමය වෙනසක් මගින් හීමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සෑම වර්ෂයකම කාලීන මාතෘකාවක් යටතේ මෙම දිනය සමරණු ලබන අතර 2024 වර්ෂයේ තේමාව වශයෙන් “ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැලද ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය” යන්න යොදාගෙන ඇත.
වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ළමුන් 2000 කට ආසන්න පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම සැමරුම් ජාතික උත්සවය සදහා රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මෙන්ම මහර නව යොවුන් හා වැඩිහිටි තැලසීමියා ඒකකයේ නිරිමාතෘ, මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන, ලංකා තැලසීමියා සංවීධානයේ සභාපති මධූෂ කුමාර, ලේකම් භාග්‍යා චන්ද්‍රරත්න, කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජයතිලක, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියන්ගනී, විශේෂඥ වෛද්‍යවරුන් වන රෝහණ දයාරත්න, රංජනී එදිරිසූරිය, මානෙල් රත්නායක යන මහත්ම මහත්මීන්ද, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන්ද විශාල පිරිසක් සහභාගි වී සිටියහ.