Spread the love

දේශීය කතානාද සිනමාවට වසර 77ක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර 52ක්‌ සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සංවත්සර උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඡායාරූපයට පුෂ්ප උපහාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් උදෙසා විශ්‍රාම වැටුප් පිරිනැමීම සංකේතවත් කරමින් කලාකරුවන් දස දෙනෙකු සඳහා අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් විශ්‍රාම වැටුප් පිරිනැමීම සිදුවිය.

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 77 ක් සපිරීමට සමගාමීව නිකුත් කෙරුණු ” චිත්‍රපට ” සඟරාවේ විශේෂ කලාපය එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

උත්සවය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වසර පනස් දෙකක ජාතික චිත්‍රපට සංස්ථා ඉතිහාසයේ කෘතවේදිත්වයේ සටහනක් තබන මොහොතට විෂය භාර අමාත්‍යවරයාව ලෙස දායක වීමට ලැබීම සතුටට කරුණක්. විශ්වයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එවකට පෞද්ගලික අංශයේ කර්මාන්තයක් ලෙස පැවති චිත්‍රපට කර්මාන්තය රාජ්‍ය අංශය වෙත පත්කිරීම සඳහා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළා. එවකට ලෝකයේ සමාජ ක්‍රමයන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ක්‍රමවේද දෙකක් ලොව පුරා අනුගමනය කෙරෙමින් පැවතුණා.

ලාභ පරමාර්ථය මූලික කරගත් වෙළඳපොළ ක්‍රමය සහ මධ්‍යගත සැලසුමකට අනුව සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය තීරණය කළ සමාජවාදී ක්‍රමය. එකල විද්වතුන්, බුද්ධිමතුන් අතර මේ අතරින් වඩා සුදුසු ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ නොයෙක් වාද විවාද පැවතුණා. මාද ගුරුවරයෙකු වශයෙන් මේ ක්‍රම දෙක අතරින් වඩා වඩා සුදුසු ක්‍රමය සමාජවාදී ක්‍රමය බව විශ්වවිද්‍යාල තුළත් ඉන් පිටතත් කතාබහ කර නිරත වුණා.

නමුත් සමාජ ක්‍රමයේ ඇති වූ වෙනස් වීම අනුව සෝවියට් රුසියාව, මහජන චීනය වැනි දැවැන්ත රාජ්‍යයන් පවා සමාජවාදී ක්‍රමයෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයට පරිවර්තනය වෙමින් පවතිනවා. අද්‍යතන යුගයේ ගෝලීයකරණයත් තාක්ෂණික විප්ලවයත්, කෘතිම බුද්ධිය වැනි විවිධ සංරචක රාශියක් හේතුවෙන් මුළු ලෝකයම හිඟ සම්පත් මිනිසුන්ගේ විකල්ප අරමුණු අතර බෙදාහරින්නේ වෙළඳපොල ක්‍රමය හේතුවෙන්. ඒ අනුව අතීතයේ පැවති ක්‍රමය යල් පැන ගිය,අසාර්ථක ක්‍රමයක් ලෙස සැලකීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව තුළද කලක් තිස්සේ පැවති දීප්තිමත් යුගය නිමා කරමින් පසුගිය කාලය තුළ යම් අපගමනයක් සිදුව තිබුණා. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් වේගයෙන් ජාත්‍යන්තරය වෙත යොමු වන විට රටක් වශයෙන් අප ඊට පසුගාමී තත්ත්වයක පසුවුණා. ඒ පිළිබඳ විවිධ වාද විවාද මතුවුණා.

චිත්‍රපට ක්ෂේත්‍රයේ මා සතු අත්දැකීම්, ඊට තිබෙන ආදරය යන සියල්ල හේතු කර ගනිමින් මෙම විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් වලටද ගරු කරමින් මෙම ආයතනය ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසමක් බවට පත්කිරීමට අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන්. ක්ෂේත්‍රයේ සියලු නිර්මාණකරුවන්ට ගරුත්වයක්, අනුබලයක්, උත්තේජනයක් ලබාදෙමින් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු සිනමා කර්මාන්තයක් බවට ඔසවා තැබිය හැකි ප්‍රමාණාත්මක ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කළ හැකි පරිදි ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසම මෙම පනත සම්මත වීමෙන් අනතුරුව පිහිටුවීමට කටයුතු කරනවා.

දීර්ඝ කාලයක් පනතෙන් නියමවී තිබූ ආකාරයට ජනාධිපති සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුවත් පසුගිය වසරේ එය සියලුම දෙනාගේ දායකත්වයෙන් ආදර්ශමත්, ගෞරවාන්විත ලෙස සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. මේ වසරේ ජූලි මාසය වනවිට පැවැත්වීමට නොහැකි වූ පසුගිය සියලු වසර වලට අදාළව ජනාධිපති සම්මාන උළෙල පවත්වා අවසන් කිරීමට අප කටයුතු කරනවා.

සිනමාවේ ආරම්භයේ සිට එහි ස්වර්ණමය යුගයට දායක වූ එවකට තරුණ වියේ පසු වූ රංගවේදීන්, නිර්මාණ ශිල්පීන් රාශියක් මේ වන විට ඉතාමත් වයෝවෘද්ධ තත්ත්වයේ පසුවනවා. එලෙස අසරණභාවයට පත් වූ කලාකරුවන්ට සහනයක් සැලසීම උදෙසා විශ්‍රාම දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව චිත්‍රපට සංස්ථාවට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.”