Spread the love

විල්පත්තුව රක්ෂිතයේ අනවසරයෙන් හෙලි පෙහෙලි කර කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් සිදු කරන විනාසය සොයා බැලිමට ගිය පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර අද (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබිණ.

කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි.

එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය.

එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවුණි.

එහිදී ගම්වාසීන්ගෙන් එම පිරිසට පහරදීමක් සිදුවූ අතර ස්වාමීන් වහන්සේ සමග මාධ්‍යවේදීන් ගමන් ගත් මෝටර් රථයකට ද පහරදීමක් සිදුවී තිබේ.

ඒ අනුව ස්වාමීන් වහන්සේ ගම්වාසීන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රාජාංගනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඉන් අනතුරුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුළු පිරිස මිහින්තලේ පොලිස් ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළහ.