Spread the love

මහනුවර දිස්ත්‍රීක්කයේ විදුහල්පතිවරුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සදහා වන වැඩමුළුවක් මහනුවර, පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ජාතික ආයතනයේ ඒ.රත්නායක ශාලාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

පොලිමත් අධ්‍යාපන ආයතනය සහ ලින්කන් සරසවිය එක් ව සංවිධානය කර තිබු මෙම වැඩසටහන සදහා මහනුවර දිස්ත්‍රීක්කයේ විදුහල්පතිවරුන් 60 ක පිරිසක් සහභාගී වූ අතර, මෙහි විශේෂ දේශන සදහා මහාචාර්ය රස්නායක.එම්.මුදියාන්සේ, ආචාර්ය දර්ශන සමරවීම, ලින්කන් සරසවියේ ප්‍රධාන විධායක නිලධාරී චන්න තරංග, උපාලි ගුණසේකර, ආර්.එම්.පී. රත්නායක යන මහත්වරුන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සත්‍ය සිදුවීමක් ද ගෙන හැර දක්වමින් සදහන් කර සිටියේ, ඉහල ගුණත්වයකින් යුත් ගුරු පුහුණුවක් සහිතව ගුරු වෘත්තිය වෙත ගුරුවරුන් තිළිණ කළ ද එම පුහුණුව කොයිතාක් දුරට ඉගැන්වීමේදී ගුරුවරුන් භාවිතයට ගන්නේ ද යන්න ගැටලු සහගත බවය.. දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම කුසලතා සංවර්ධන වැඩසටහන මහනුවර දිස්ත්‍රීක්කය පාදක කරගනිමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පලකරන බවත්, කාලීන වශයෙන් මෙවැනි කුසලතා සංවර්ධන වැඩසටහන ඉතා වැදගත් බවත්, රටේ හෙට දවස භාරගැනීමට සිටින දරු පරපුර වඩා නිවැරදි ආකාරයෙන් යහපත් ආකල්පයන්ගෙන් පෝෂිතව සමාජගත කිරීම ඔස්සේ අනාගතයේදී හෝ රටට හිතැති පරපුරක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ , මධ්‍යම පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.