Spread the love

මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය ලබන අලාභය අනුව විදුලි ගාස්තු වැඩි වීම සිදු විය යුත්තේ සියයට 18කින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවති මහජන සැසියට එක් වෙමින් ඊයේ (ඔක්. 18) පැවසීය.

මීට පෙර මෙම පාඩුව බිලියන 32ක ලෙස සඳහන් වුව ද මේ වන විට එය බිලියන 18ක් ලෙස සඳහන් වන බව ද හෙතෙම මෙහිදී කීය.

වසරකට දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුව තිබුණ ද සුවිශේෂී අවස්ථා යටතේ යළිත් සියයට 22කින් විදුලි මිල ඔක්තෝබර් මාසයේ සිට වැඩි කළ යුතු බවට දන්වමින් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

අධික වර්ෂාවක් ලැබීමත් හා උෂ්ණත්වය පහළ යාමත් හමුවේ විදුලි උත්පාදන වියදම හා ඉල්ලුම මේ වන විට අඩුවී ඇති හෙයින් සියයට 18කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය බව මෙහිදී හෙතෙම සඳහන් කළේ ය.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය පෙබරවාරි 15 වන දින ලැබුණු අතර එහිදී 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමිණි.