Spread the love

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි යි.

නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිවු  දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි අතර දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇතිවීමේ හැකියාව පවතියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි..