Spread the love

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක අද (27)  ජනාධිපති කාර්යාලයේදී ඔහුට ලබාදී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක නොකැලැල් සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා තනතුරු රැසක් හොබවා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු ලෙසද දිවුරුම් දී ඇති ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක්ද ලබා තිබෙන බවයි සඳහන් වන්නේ. 

නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙසද ඔහු එක්ව ඇති අත​ර ඔහු​ගේ වසර 36 ​ක රාජකාරි කාලසීමාව තුළ ​පොලිස්පතිවරුන් දසදෙනකුගෙන් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපිද ලබා ඇති බවයි සඳහන් වන්නේ