Spread the love


නිමල් රාජපක්ෂ-

රාජකීය තායි එයාර් වේස් ගුවන් සමාගම වසර හතරකට පසු ලබන අප්‍රේල් මස 01 වන දින තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට දක්වා ගුවන් ගමන් ඇරඹීමට තීරණය කොට තිබේ. ‍
මෙම කරුණු හෙලි වූයේ තායි ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගිය 16 වන දින කොලඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදීය.
මෙම ගුවන් මෙහෙයුම් වැඩපිලිවෙල යටතේ සෑම දිනකම තායි ගුවන් යානයක් බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ එදිනම කටුනායක සිට බැංකොක් නුවර බලා පියාසර කරනු ඇත.
වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා තායි රජය සහ තායි ගුවන් සේවය සමඟ නිරතුරුව කරන ලද සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ගුවන් සේවාව නැවත ආරම්භ වූ බව තායි- ගුවන් සේවයේ ශ්‍රි ලංකා නියෝජිත මාස් හෝල්ඩින් සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂ ඇන්ඩෘ ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ : නැවතී තිබු තායි ගුවන් සේවාව නැවත මේ සුන්දර දිවයිනට පැමීණීම ගෞරවයෙන් පිලිගනු ලබන අතර එය ඉතාමත් සතුටට කරුණක් බවයි.
තායිලන්තය සහ ශ්‍රි ලංකාව ඈත අතීතයේ සිට ඉතාමත් මිත්‍ර රටවල් 02 ක් වන අතර බොහෝ කරුණු මත සමාන රටවල් 02 ක් වන බව පැවසු අමාත්‍යවරයා බුද්ධාගම, සංස්කෘතිය, වෙලඳ කටයුතු සහ කෘෂිකාර්මාන්තය මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බව පැවසීය.
එමෙන්ම රටවල් 02 හි ජනතාවගේ අන්තර් සම්බන්ධතාවයන් ඉතාමත් ඉහල බැවින් ශ්‍රි ලංකිකයන් තායිලන්තයේ සංචාරය කිරීමට කැමති අතර තායි ජාතිකයින් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට කැමති බවද පැවසීය.
මෙම තායි ගුවන් සේවාව කොව්ඩ් වසංගතයට පෙර ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ඉටු කල බවත් කොවිඩ් වසංගතයත් සමඟ මුළු ගුවන් සේවා කර්මාන්තයම කඩා වැටීමකට ලක් වූ බව අමාත්‍යවරයා පැවසීය.