Spread the love


නිමල් රාජපක්ෂ-

ලෝකයේ විශාලතම නැව් සමාගමක් වන ෆා ෂිපිං ( Far Shipping) සමාගම ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථා ලබා දීමට එකඟතාව පල කර ඇතැයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම කරුණු පැවසුවේ ෆා ෂිපිං ( Far Shipping) සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂක යූ යොන්ග් ජුන් ( Yu Yong Jun) මහතා ඇතුළු එම සමාගමේ නියෝජිත කණ්ඩායමක් අමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
මෙහිදී යූ යොන්ග් ජුන් මහතා කරුණු දක්වමින් කියා සිටි‍යේ ශ්‍රී ලාංකික පුහුණු තරුණ නාවිකයින් රැසකට චීනයේ පිහිටි තම සමාගමේ රැකියා අවස්ථාවන් ලබා දීමට හැකි බවයි. එහෙයින් එම බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිලිබඳව ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශවකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කරන බවද පැවසීය.
ජුන් මහතා තවදුරටත් කියා සිටියේ : ශ්‍රී ලංකාවේ නාවික අභ්‍යාස ආයතන වලින් ඉගනුම ලබා පිටවන තරුණ තරුණියන්ට රැකියා පුහුණුව මත තම සමාගමට බඳවා ගැනීමටත් ඉන් අනතුරුව ස්ථීර සේවය සඳහා බඳවා ගැනීමටත් තම සමාගම කැමැත්ත පල කරන බවයි.
ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය යටතේ තිබෙන මහපොල සමුද්‍රීය විද්‍යාතනය මගින් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන මඟින් සහ මොරටුව විශ්ව විද්‍යාලය මගින්ද නාවික ‍ක්ෂේත්‍රයන්හි ගුණාත්මක කණ්ඩායමක් සෑම වසරකම පුහුණු කරන බවත් අවශ්‍ය නම් ඔවුන් සඳහා චීන භාෂාව ඇතුලත් පාඨමාලාවක් ලබා දී චීන භාෂාව පිලිබඳව ප්‍රවීනත්වය ලබා දීමට හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කලේය.
අතීතයේ සිටම චීනය මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උදව් කර ඇති බව සිහිපත් කල අමාත්‍යවරයා විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්හට නාවික හා විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් ලබා දීම පිලිබඳව ශ්‍රී ලංකා රජයේ සහ විෂයභාර අමාත්‍යවරයා ලෙස කෘතවේදීත්වය පල කලේය.
මෙම සාකච්චාවට කපිතාන් ලින් යැන්ග් , (Capt Lin Yang ) අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන්ද සහභාගි විය.