Spread the love

නිමල් රාජපක්ෂ-

ගුණාත්මක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීම අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 75 ක මුල්‍ය ප්‍රතිපාදන මත ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකය (𝚜𝚝𝚛𝚘𝚔𝚎 𝚞𝚗𝚒𝚝) අද (02) දින රෝගී සත්කාර සේවාවන් සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී. මේ සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇත.

දකුණු පලාතේ එකම හා ප්‍රථම ආඝාත ප්‍රතිකාර ඒකකය වන මෙම ඒකකය ඉදිකිරීම් ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු ගාල්ල වෛද්‍ය සංගමය (𝙶𝚊𝚕𝚕𝚎 𝚖𝚎𝚍𝚒𝚌𝚊𝚕 𝚊𝚜𝚜𝚘𝚌𝚒𝚊𝚝𝚒𝚘𝚗) සිදු කර ඇත.

ආඝාත ඒකකය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ඒකකය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පළමු රෝගියා ඇතුලත් කීරීම ද සිදූ කරන ලද අතර, මෙහි ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ආරම්භ කර ඇත. අතරමග නැවතී තිබුනු ඉදිකිරීම් කටයුතු යලිත් පසුගිය වසරේ ආරම්භ කරන ලදී.

මීට පෙර වෙනත් රෝග තත්ත්ව යටතේ වන රෝගීන් සමග ආඝාත රෝගීන්ට ද ප්‍රතිකාර රෝහල තුළ සිදු කරන ලද අතර, ආඝාත රෝගය වෙනත් රෝග තත්ත්ව වලට වඩා රෝගියා ආබාධ තත්ත්වයට පත්වීමේ ඉඩකඩ වැඩි රෝගයකි.

මේ වන විට කොළඹ, කුරුණෑගල, මහනුවර යන රජයේ රෝහල්වල ආඝාත ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර ඇති අතර රෝගී ප්‍රතිකාර සේවාවන් ද ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට එක්වෙන් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ …..

වර්තමානය වන විට බෝ නොවන රෝග වල යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවත්, එය මේ වන විට ගැටලු සහගත තත්වයක් වන බවය. ලබන වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අයවැය ප්‍රකාශනයෙන් සෑම දිස්ත්‍රික්කයක් සදහාම පුනරුත්ථාපන ඒකකයක් සහ සහන සත්කාර ඒකකයක් බැගින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද පැවසූ අමාත්‍යවරයා ආඝාත ඒකක පලාත් වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ස්ථාපිත කල යුතු බවද කීය.