Spread the love

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ. විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ.

මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ.

කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත.පසුගිය වසර තුනක කාලය තුල සංගීතය,ගායනය,කථික ,රංගනය,ගීත රචනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.

වයස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටි ඇය ග්‍රීන් හාට් නැමති ජාත්‍යන්තර සංවිධානයේ අරම්හකයාද වෙයි .ඇගේ මව දිල්රුක්ෂි හේවගේ එක්සත් රාජධානියේ ගුරුවරියක ලෙසද පියා ප්‍රශාන් රසංජන ඉංජිනේරුවරයෙකු ලෙසද සේවය කරයි .

වයස අවුරුදු දෙකහමාරේදී සිය දෙමවුපියන් සමග විදේශගතවූ ඇය වයස අවුරුදු 11 දී ස්වීඩනයේ පැවති අයි සින්ගින්ග් වර්ල්ඩ් ගායනා තරගයෙන් දෙවන ස්ථානය මෙන්ම ජර්මනියේ බර්ලින් හි පැවති යුරෝ පොප් නමැති ගායනා තරගයකින් ජූරියේ විශේෂ සම්මානයක් හිමිකර ගත් බව යෙනුලිගේ මව දිරුක්ෂි හේවගේ පැවසුවාය.

“මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයකි .

. ඒ වගේම මම මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත්ව සිටියත්, මගේ මව් රට වන ශ්‍රී ලංකාවට මෙම කීර්තිය ගෙන ඒමට හැකිවීම ගැන මටත් විශාල සතුටක් දැනෙනවා.

, මගේ පාසලේ ආදරණීය විදුහල්පතිතුමා, ගුරුවරුන්, මිතුරු මිතුරියන් සහ මගේ ආදරණීය පවුලේ අය මෙන්ම ලොව පුරා මට ඡන්දය දුන්, ඔවුන්ගේ ආශිර්වාදය එවූ මට සහය දුන් සැමට. මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

මගේ කුඩා කාලයේ සිටම, මට සෑම විටම අවශ්‍ය වූයේ ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීමටයි. ඒ සඳහා මගේ උපරිමය කරමින්, සාමකාමී, තිරසාර ලෝකයක් ගොඩ නැගීමට මට කළ හැකි උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙනවා යැයි යෙනුලි මෙම ජයග්‍රහණය ගැන සතුට පළකරමින් පැවසුවාය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 25 දා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල් හි ඩෙල්ටා හෝටලයේදී පැවැත්විණි .