Spread the love

මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සහ විධිමත් සුව සත්කාර සේවාවක් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ඉහත වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා නැගෙනහිර පළාතේ පිහිටි එකම ශික්ෂණ රෝහල වන මඩකළපුව ශික්ෂණ රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් ඇතුලු වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලීමට කටයුතු කරන ලදි.

එහිදී මඩකළපුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට, එම දුක් ගැනවිලි වලට ක්ෂණික විසදුම් ලබාදීමට සහ රෝහල් මෙහෙයුම් සම්බන්ධයෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ආධාර උපකාර සැපයීම අරමුණු කරගෙන රෝහලේ පරිපාලන කාර්යාල ගොඩනැගිල්ලේ අළුතින් ස්ථාපිත කරන ලද මහජන සම්බන්ධතා සහ තොරතුරු කේන්ද්‍රය (Public Relation and Information Center) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් විවෘත කිරිම ද සිදු විය.

පසුගිය වසරේ ඉන්දීය රජයේ රුපියල් මිලියන 300 කට අධික මූල්‍යාධාර යටතේ රෝගී ඇඳන් 360 ක්, ශල්‍ය දැඩි සත්කාර ඇඳන් 10 ක් සහ ශල්‍යාගාර 03ක් කින් සමන්විත මඩකලපුව ශික්ෂණ රෝහලේ විවෘත කරන ලද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වත්මන් තත්ත්වය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිරික්ෂණයට ලක් කළ අතර, එහිදී ශල්‍ය වෛද්‍ය ඒකකයෙන් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සහ ගුණාත්මකතාවය ඉහළ නැංවීම සදහා වු උපදෙස් ලබාදීම ද සිදු කරන ලදි.

එමෙන්ම මඩකළපුව ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ 2018 වර්ෂයේ රජයේ ප්‍රතිපාදන මත ඉදිකිරිම් ආරම්භ කරන ලද පස් මහල් හෘද රෝග ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ලේ අවසන් අදියරේ වන ඉදිකිරිම් කටයුතු වල ප්‍රගතිය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කරන ලදි. එහි ඉදිකිරිම් කටයුතු එක් එක් මහල වෙත ගොස් නිරීක්ෂණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිකිරිම් කටයුතු කඩිනම්න් අවසන් කර ජනතා අයිතියට පත් කිරිම සදහා ගත යුතු ඉදිරි පියවර සහ තින්දු තීරණ පිළිබදව රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුලු නිලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.

රෝහලේ අභ්‍යන්තර ඖෂධාලය, මුළුතැන්ගෙය, වෛද්‍ය සැපයීම් ඒකකය, ඖෂධ ගබඩාව, රෝගී ප්‍රතිකාර වාට්ටු සහ රසායනාගාර ද නිරික්ෂණය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඖෂධ ප්‍රවාහන ගැටළුවට විසදුම් ලෙස ලොරි රථයක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේ. ගනේෂලිංගම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය මයිතිලි බාර්තෙලොට්, වෛද්‍ය කේ.මෝහනකුමාර්, රෝහල් ලේකම් වී. ක්‍රිෂ්ණකුමාර්, ප්‍රධාන ගණකාධිකාරි එස්.පුවනේෂ්වරන් යන මහත්ම මහත්මින් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.