Spread the love

වැඩි කළාම ඔක්කොම හරිද? නමුත් මේ පාලකයන් මේ රටේ හැම මිනිහෙක්ටම රුපියල් විසිදහසක පමණ බදු බරක් අලුතෙන් පනවලා තියෙනවා.

රනිල් යළි එන්නේ නැහැ!

මම නම් හූනා කිව්වා වගේ කියන්නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නැහැ. කවුරුහරි හිතනවානම් ‘එයා එයි’ කියලා, ‘අනේ පව්’ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. එතුමා කිසිසේත්ම ජනාධිපතිවරණයකට එන්නේ නැහැ වගේම ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන ඉතුරු කාලයේ යෙහෙන් වැජඹෙන්න බලයි. ඒ හින්දා දැන් පඳුරකට ගැහැව්වත් ජනාධිපති අපේක්ෂකයෝ හැටක් විතර විසි වෙනවානේ. ඒක අතුරු කතාවක්.

රටේ ‘පාලන සුක්කානම’…

රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමහරි ජනාධිපති පුටුවට ගියාට එතැනින් එහාට එයාට වගකීමක් නැහැ. මේ ඉතිරි කෙටි කාලය තුළ ලබාගන්න පුළුවන් වාසිය සොයාගෙන යනවා මිසක් මේ කෙටි කාලය තුළ රටට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට උවමනා නැහැ. ඒ නිසා අද අපේ රටේ ‘පාලන සුක්කානම’ තිබෙන්නේ රටේ අනාගතය ගැන කිසිදු වගවීමක් නොදරන පුද්ගලයෙකු අතේයි. ඒ රාජ්‍ය පාලන සුක්කානම එතුමාට භාර දීලා, 69 ලක්ෂයේ ජනවරමින් බලයට ආපු අය, ‘දැන් බස් එක හොඳට යනවා’ කියලා හිතනවා.

‘කලහකාරී ප්‍රතික්‍රියා’

ඉදිරියේදී වැට් බද්දේ පරාසය පුළුල් කළාම තේ කර්මාන්තයටත් ඒක බලපානවා. දැනටත් සැලකිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ලබන අවුරුද්දේ එන අලුත් බදු සමග සමාජ ආතතිය තවතවත් වැඩි වෙනවා. සමාජ ආතතිය වැඩි වන විට රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය බිඳවැටෙනවා. මේ විදිහට සමාජ ආතතිය වැඩි වෙනකොට තමයි අනාගත පුරෝකතනයකින් තොරව කලහකාරී ප්‍රතික්‍රියා දැක්වීමට ජනතාව පෙළඹෙන්නේ. මේ අයවැයෙන් කරලා තියෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතිය වඩා යහපත් අතට හැරවීම නොවෙයි, එය ඉතාමත් නරක විදිහට බිඳවැට්ටවීමයි. මේ බිඳවැට්ටවීම මගින් සිදු වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීමයි. අරාජිකත්වයෙන් ප්‍රයෝජන ගන්නේ වෙනවෙන පවිටු බලවේගයි. කිසිදු දුරදක්නා සොයාබැලීමකින් තොරවයි මේ ආණ්ඩුව අද කටයුතු කරන්නේ.

“මේකද උත්තරය?”

මම දැක්කා ජනාධිපතිවරයා එක්තරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකට ගිහිල්ලා කියනවා, ‘ලබන අවුරුද්ද වෙනකොට අපට IMF තුන්වැනි ණය වාරිකය ලැබෙනවා. එතකොට අපේ බංකොලොත්කම නැති වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් ණය ගැනීමේ පහසුකම ලැබෙනවා’ කියලා. ඒ කියන්නේ ආයෙත් අපි, ‘ණයට අරන්- සැපට කාලා – ජොලියෙ ඉන්නවා’ කියලයි; ඒ කියන්නේ, ‘මේ රට ආයෙත් පැරණි තකතීරු මාවතේම රැගෙන යනවා’ කියලයි. එහෙම ඉදිරියට ගියත් කෙටි කාලෙකින් මේ රට ආයෙත් ‘හොම්බෙන්’ යනවා. මේකද උත්තරය?

ණය වාරිකය ගෙවීමට සිදුවන විට…

දැන් බලන්න, ආජන්ටිනාව වැනි රටක් ඔය කියන මාවතේ ගිහින් දැන් දශක ගණනාවක් තිස්සේ ඉතා දරුණු ආර්ථික අර්බුදයක සිටිනවා. අපේ මේ පාලකයන් දැන් කියනවා, ‘අපි අර්බුදයෙන් එළියට එන්නයි හදන්නේ’ කියා. නමුත් ඉදිරියේදී ණය වාරිකය ලෙස අවුරුද්දකට ඩොලර් බිලියන තුනහතරක් ගෙවීමට සිදුවන විටයි අර්බුදය තීව්‍ර වෙන්නේ. ඉදිරියේදී ණය වාරිකය ගෙවීමට විදේශ විනිමය මදි වෙනකොට, කර්මාන්ත වැසී යනකොට, අපේ නිෂ්පාදනවලට අධික පිරිවැය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න බැරි වෙනකොට මේ රට අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.

ඇවිලෙන ගින්නට ‘පිදුරු’

දිගුකාලීන කිරාමැන බැලීමකින් තොරව යන ගමනකින් මේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලාට කියන්න පුළුවන්, ‘තෙල් පෝලිම් ඇතුළු පෝලිම් අපි නැති කළා’ කියලා. ඒ ‘පෝලිම්’ කිව්වේ අර්බුදයේ තීව්‍රතාව පෙන්නුම් කළ පින්තූරය. ඒ පින්තූරය නැති වුණා කියලා අර්බුදය නැති වෙලා නැහැ. අද හැම තත්පරයකදීම මේ රටේ මිනිස්සු මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙනවා. මේ අර්බුදයෙන් එළියට එන මාවත නොවෙයි මේ පෙන්වලා තියෙන්නෙ. මේ අයවැය, ආර්ථික අර්බුදය නමැති ඇවිලෙන ගින්නට ‘පිදුරු දමන’ අයවැයක් මිස මේ ආර්ථික අර්බුදය නැමැති ඇවිලෙන ගින්නට ‘වතුර දමන’ අයවැයක් නොවෙයි. එහෙම අයවැයකින් රාජ්‍ය පරිපාලනයටවත් රාජ්‍ය සේවයටවත් රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතියටවත් සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ලෙසකින් හැකි වන්නේ නැහැ, කියා අපි අවධාරණය කරනවා”