Spread the love

රාජ්‍ය වැවිලි ව්‍යාවසාය වඩාත් ඵලදායී සහ විනිවිධභාවයෙන් යුතුව පෞද්ගලික අංශයේ ආයෝජන වෙනුවෙන් ලබා දීමේ කටයුතු මාස හයක කාලයක් තුළ අවසන් කිරීමට සූදානම් බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව පත් කළ වාණිජ වැවිලි කළමනාකරණ සම්බන්ධයෙන් වන විද්වත් කමිටුව අද රැස් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එහි සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර ඒකනායක මහතා කටයුතු කරන අතර මහාචාර්ය බුද්ධි මාරඹේ, නීතීඥ නිරෝෂන් බණ්ඩාර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, ඩබ්ලියු. ඩී. ජයසිංහ, එච්.ඩී. සිසිර යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා සහ වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයා ද එහි සාමාජිකයෝ වෙති.

මාස හයක කාලයකු තුළ වඩාත් ඵලදායී ලෙස අදාළ වැවිලි ව්‍යවසාය අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන වෙත ලබා දීම එම කමිටුවේ අරමුණයි. එහි දී දැනට සේවයේ නියුතු සේවකයන්ගේ ව්‍යවස්ථාපිත ගෙවීම් ආරක්ෂා වන පරිදි කටයුුතු කිරීම ද අනිවාර්ය කරුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මීට අමතරව රජය සතුව පවතින වැවිලි සමාගම් 21 නියමිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූයේ මන්දැයි සොයා ලැබීමේ කාර්යය ද මෙම කමිටුවේ වගකීම් අතර වෙයි. ඊට අදාළව නව නීති සම්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වන බලතල ද අදාළ කමිටුව සතු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.