වැරදිලාවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලයක් ලැබුණොත් IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගොස් 2025 අය වැය හදන්නටවත් බැරි තත්ත්වයකට මේ රට පත් වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එවිට 2025 රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් හා සහනාධාර ගෙවන්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කළ අමාත්‍යවරයා සජිත්ට බලයක් ලැබුණොත් දේශපාලනය කළ හැකි වුවත් රටක් ආණ්ඩු කළ නොහැකි බව ද අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී ආර්ථික පරිවර්තන පනත පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.
කඩා වැටුණු රට ගොඩනැඟීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය ගිවිසුමක් ඇති කර ගත්තා. වර්ෂ 2027 වනතෙක් එම ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන බවට ලංකාණ්ඩුවත් මුදල් අමාත්‍යාංශයත් ජාත්‍යන්තර ගිවිසුම් නීතියට අනුව ගිවිසුම්ගත වෙලා ඉන්නේ.
මේ අනුව 2025ට අය වැය සකස් කරන විට මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇස්තමේන්තු කර තිබෙන විදේශ සම්පත් පරතරය ඩොලර් මිලියන 5018ක්. පරතරය පියවීමට IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 663ක් දෙන්න පොරොන්දු වුණා. 2025 අය වැය හදාගන්න තවත් ඩොලර් මිලියන 700ක් දෙනවා. ලෝක බැංකුව 400ක් දෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 300ක් දෙනවා. 3855ක ණය සහනයක් ලැබෙනවා.
මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම එලෙසින්ම පිළිගන්නේ නැති බවත් අවශ්‍යයෙන්ම ගිවිසුම සංශෝධනය කරන බවත් IMF එකට දන්වා තිබෙන බවත් විපක්ෂ නායකතුමා අද පැහැදිලිව පාර්ලිමේන්තුවට කියනවා. මේ විදිහට වැරදිලාවත් එතුමාට බලයක් ලැබුණොත් IMF ගිවිසුම පහුවදා සංශෝධනය කරන්න යනකොට 2025 අය වැය නම් හදන්නම වෙන්නෙ නෑ. රටේ සමස්ත පරිවර්තනයක් සිදු කිරීම සඳහා නොසැලෙන අත්තිවාරමක් සපයන යළි රට ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩපිළිවෙළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ හා ආර්ථික පරිවර්තන පනත් හරහා ඉදිරිපත් කරනවා. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ තීරණාත්මක පනත් දෙකක් අද සම්මත කරනවා.
මේ පනත්වල ඉලක්කම් දත්ත ඇතුළත් කරලා ඒ මත පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණය, විනය සහ ආර්ථික විනය ගැටගැසුවේ නැත්නම් නැවත වතාවක් රට බංකොලොත් වීම වළක්වා ගැනීමට නොහැකියි. රටේ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම පනත් මඟින් සිදු කිරීමට අපේක්ෂිතයි. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස යොදා ගන්නවා. අන්තර්ජාතික ලෙස අපට පවතින අර්බුද විසඳා ගැනීමට අප කැමති වුණත් නැතත් ගත් ණය ප්‍රමාණය ගෙවිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අත්සන් කර තිබෙන ගිවිසුමට පිං සිද්ධ වෙන්න අද අප හුස්ම ගන්නවා. විස්තීර්ණ ගිවිසුම නිසා අද පෝලිම් නැතිවෙලා තිබෙනවා.
මෙම පනතට විපක්ෂ වන කිසිවකුට ඉදිරියේදී ආණ්ඩුව කළ නොහැකියි. රටේ සමස්ත පරිවර්තනයක් සිදු වීම සඳහා අවශ්‍ය නොසැලෙන අත්තිවාරමක් සපයන ජාතික වැඩපිළිවෙළක් අද ඉදිරිපත් කරනවා. ඡන්ද ලබා ගන්නා දේශපාලනීකරණය තුළින් ආණ්ඩු කළ නොහැකියි. සමාජ සංස්කෘතික වෙනස්කම් තුළින් රටේ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය යුතුයි. කවුරු ආණ්ඩු කළත් ලබන වසර සඳහා අය වැය ලේඛනය හදන්න ඕන. එසේ නොකළොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න බැහැ. අස්වැසුම දෙන්න බැහැ. විස්තීරණ ණය සංශෝධනය ලබන වසරේ කරන්න හිතනවා නම්, ආණ්ඩුවක් ඇවිත් බැරි වෙලාවත් රට මේ අයට ගියොත් ණය ගෙවන්නත්, විශ්‍රාම වැටුප් ගෙවන්නත් බැරි වෙනවා.
මේ රට ණය ගෙවන්නේ නැතිව 2027 දක්වා පවත්වාගෙන යන්නේ ගිවිසුමක් ප්‍රකාරවයි. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ආර්ථික පරිවර්තන පනතේ තිබෙනවා කවුරු ආණ්ඩු කළත් මෙරට ප්‍රාථමික ගිණුමේ සියයට 2.5ක අතිරික්තයක් තිබිය යුතුයි කියලා. විපක්ෂ නායකවරයා අද කීවේ අයි.එම්.එෆ්. ගිවිසුම් වෙනස් කර ගන්නවා කියලා. එය එතුමා සපථ කළා. එහෙම කරන්න බැහැ. එහෙම වෙනස් කරන්න හිතනවා නම් ඔවුන්ට ආණ්ඩුව කරගෙන යන්න වෙන්නේ නැහැ. 2032 වන විට දළ දේශීය අනුපාතයෙන් සියයට 35ක් දක්වා ණය බර අඩු කළ යුතුයි. කුමන ආණ්ඩුවක් පැවැතියත් එය කළ යුතුයි. දැන් එකසිය විසි ගණනේ තිබෙන්නේ. කවර දේවල් ජනතාවට පොරොන්දු වුණත් දළ දේශීය නිෂ්පාදිතය සියයට 13 ඉක්මවිය නොහැකියි. ණය වාරික පොලී 4.5ට වඩා වැඩි වෙන්න බැහැ. වක්කඩ කැඩුවා වගේ ගෙනැවිත් විදේශ සංචිත කඩන් වැටෙන්න දෙන්න බැහැ. විරැකියාවේ අනුපාතය සියයට 5 දක්වා අඩුවෙන් පවත්වාගෙන යා යුතුයි. ඒවා අනිවාර්යයෙන් කළ යුතුයි. 2048 වන විට ඒකපුද්ගල ආදායම ඩොලර් 20,000ට වැඩි සංවර්ධන රටක් හා සමාන මට්ටමට පැමිණෙනවා. ඒ තැනට එන විදිහට තමයි අප මේ සැලසුම් සකසා තිබෙන්නේ. රට සුරක්ෂිත කරන්න මේ පනත් ගේනවා. අලුත් තාක්ෂණය යටතේ හැම ගොවියෙක්ම අපනයනය කළ හැකි භෝග වගා කිරීමට අදාළ දේ මෙහි තිබෙනවා. රටක් කඩා වැටුණාම ජාත්‍යන්තර සම්මතයට අනුව එය ගොඩනැඟිය යුතුයි.