Spread the love


නිමල් රාජපක්ෂ-

රතුලූනු වගාව මෙම වසර තුළ නැවත නඟා සිටුවීම සඳහා ව්‍යාපෘතියක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

මහ කන්නයේ දී හෙක්ටයාර් 3126ක රතුලූනු වගා කර තිබුන ද පසුගිය කාලය තුළ පැවැති අධික වර්ෂාව නිසා රතුලූනු වගාවට හානි සිදුවී තිබේ. එමනිසා මෙම යල කන්නයේ දී රතුලූනු වගාව අරඹන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. මෙවර යල කන්නයේ දී වගා කිරීමට සැළසුම් කර ඇති රතුලූනු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3543කි.

විශේෂයෙන් අපේ රටේ සෑම ප්‍රදේශයකම රතුලූනු වගාව සාර්ථකව සිදු කළ හැකිය. එමෙන්ම පසුගිය කාලවල රතුලූනු වගාව ඉතාමත් හොඳින් සිදු කළ හම්බන්තොට ඇතිළිවැව, මොණරාගල තෙළුල්ල, කුරුණෑගල මොරගොල්ලාගම හා නියඳගම වැනි ප්‍රදේශවලට නැවතත් ප්‍රමුඛත්වය දී වගා කටයුතු ආරම්භ කිරීමට තීරණය විය.

මීට අමතරව දඹුල්ල, යාපනය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල ද රතුලූනු වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට තීරණය කරනු ලැබීය.