Spread the love


නිමල් රාජපක්ෂ

දකුණු ආසියාවේ විශාලම කර්මාන්ත ශාලාව ලෙස හැඳින්වූ රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව ඇතැම් ඇමතිවරු අමාත්‍ය ධූර දැරූ ආණ්ඩු විසින් තැතිබංගස්ථානකර විනාශ මුඛයට පත්කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස් .පී.විතානගේ මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යොදාගෙන දුම්රිය කාර්යක්‍ෂමව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාවක් ඉඳිකිරීමට කොන්ත්‍රාත්තුව,චයින සිවිල් ඉංජිනියරිං කන්ස්ට්‍රක්ෂන් සමාගමට ප්‍රදානය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග ඇමති වරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක්කර තිබියදීත්, ණය අරගෙන ඉඳිකිරීම් කිරීමට ඇමතිවරු මෙන්ම ඇතැම් දුම්රිය නිලධාරීන්ද ඉතා කැමැත්තෙන් පසුවන බවත්,ඉඳිිකිරීම් මගින් සිදුකරන වංචා සහ හොරකම් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රපාතයට ඇද දමා ඇති බවත් පෙන්වා දෙමු.

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව මගින් කළ හැකි නිෂ්පාදන කටයුතු අද වන විට පහල මට්ටමකට ඇදවැටී තිබියදී, එය යථාවත් කිරීමට කටයුතු කරනවා වෙනුවට, කෝටි ගණන් ණය අරගෙන එම මුදල් ගසාකෑමට හැකි ව්‍යාපෘති ගෙනවිත් දුම්රිය විනාශ කරන බවත් ඉතා පැහැදිලිය.

රත්මලාන කර්මාන්ත ශාලාව මගින් සිදුකරන අළුත්වැඩියා කටයුතු මේ වන විට අඩපන වී ඇති බව පෙන්වා දෙන අතර, අළුත්වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් හා උපාංග උපකරණ, නවීන තාක්‍ෂණය, එන්ජින් වලට ලිහිසි තෙල් (දසක) වර්ග හා පුහුණු ශ්‍රමය අත්‍යාවශ්‍යව ඇතත්, එවා ලබාදීමට කිසිදු මැදිහත්වීමක් අමාත්‍යවරයාගේ පැත්තෙන් ඉටුනොවේ. කාර්යක්‍ෂම දුම්රිය සේවයක් පවත්වාගෙන යෑම කෙසේ වෙතත් මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යම් මට්ටමකින් හෝ දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නම් ධාවනය කිරීමට හැකි එන්ජින් ඇණිය 65% – 75 % ක මට්ටමකින්වත් පවත්වාගෙන යායුතුව ඇතත්, මේ වන විට එන්ජින් ඇණිය 55% කට ආසන්න මට්ටමකට ඇද වැටී ඇතැයිද විතානගේ මහතා පවසයි..

ධාවනයේ යෙදෙන සෑම දුම්රිය ගමන්වාරයක් ම අසීමිත ලෙස ප්‍රමාදවී ධාවනය කරන අතර, දිනකට දුම්රිය ගමන්වාර 70 – 80 ක ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවී ඇත්තේ, දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සහ අකාර්යක්‍ෂම කළමනාකරණය නිසාය. මේ තත්වය යටතේ දුම්රිය මගී ජනතාවට විඳීමට සිදුවී ඇති අසීමිත පීඩාව පිළිබඳ අවබෝධයක් ඇමතිවරයාට නැතිවීම ගැන කණගාටු වන අතර, මේ මොහොතේ ප්‍රවාහන ඇමතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ, ණය අරගෙන රටේ ජනතාව මත තවත් ණය බර හා බදු බර පටවා දුම්රිය මගී ජනතාව අසීමිත ලෙස පීඩාවට පත්කිරීම හෝ අත්‍යාවශ්‍ය නොවන දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කර දුම්රිය සේවය විනාශ කිරීම නොවන බව පෙන්වා දෙමු.

එනිසා තව දුරටත් ණය අරගෙන ක්‍රියාත්මක කරන දේශපාලන ව්‍යාපෘති නවතා ජනතාවට අවශ්‍ය කාර්යක්‍ෂම දුම්රිය සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙස ඇමතිවරයාගේ හා දුම්රිය සාමාන්‍යධිකාරී වරයාගේ අවධානය යොමු කරන්නැයිද විනාතගේ මහතා ඉල්ලාසිටි.