නිමල් රාජපක්ෂ
ඉදිකිරීම් සිදුකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව, යාවත්කාලීන තොරතුරු මගින් ව්‍යාපෘති සැලසුම් කිරීම හරහා නාස්තිය, දූෂණය නවතා ප්‍රමාදය අවම කර ගනිමින් සංවර්ධන ඉලක්ක ජයගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
දිවයිනේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කර, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙල යථාර්ථයක් කිරීම උදෙසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා රත්නපුර නගරසභා ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදී ඇමතිවරයා මෙසේ පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා,මෙවැනි කටයුතුවලදී නිලධාරීන්ගේ කැපවීම ඉතාම තීරණාත්මක යි. ඒ වගේ ම ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේ නම් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම්. රාජ්‍ය සේවාවේ පවතින පුරප්පාඩු සඳහා ඉදිරියේ දී සුදුසුකම් අනුව බඳවා ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.
මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණ. එමෙන් ම දැනට අතරමග නවතා දමා ඇති රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කඩිනමින් නිමකිරීම, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ රත්නපුර නගරාශ්‍රිතව විකල්ප මාර්ගය සැලසුම් කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.