Spread the love

රටේ අර්බුද විසඳිය හැකි නායකත්වය සැපයිය හැක්කේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට බව අවධාරණය කෙරේ.

ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වී තිබේ. එහි අහිතකර ප්‍රතිඵල තරුණ ප්‍රජාවට දැඩිව බලපා ඇත.

ඒ නිසා තරුණ තරුණියන් විශාල පිරිසක් විදේශගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ නැගෙනහිර පළාත් සම්බන්ධීකාරක මර්සුක් මොහොමඩ් මහතා පවසයි.

එවැනි තත්ත්වයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කර, තරුණ ප්‍රජාවගේ අපේක්ෂා ඉටු කළ හැකි නායකත්වය එක්සත් ජනරජ පෙරමුණ තුළ ඇතැයි බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති තරුණ සමුළුවේදී හෙතෙම අවධාරණය කළේය.

නිවැරදි නායකත්වයක් යටතේ රට නිවැරදි මාර්ගයට අවතීර්ණ කරවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ සතුය.

ඒ නිසා තරුණ තරුණියන් සීමා මායිම් ඉක්මවා එක්සත් ජනරජ පෙරමුණ සමග එක් විය යුතු යැයි මර්සුක් මොහොමඩ් අවධාරණය කරයි.

ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවට ආහාර පාන ආදිය සීමා වී තිබේ.

එවැනි තත්ත්වයකදී එහි අහිතකර ප්‍රතිඵල තරුණ තරුණියන්ටද විඳීමට සිදුව ඇතැයි සමුළුව අමතමින් මර්සුක් මොහොමඩ් පෙන්වා දුන්නේය.

දේශපාලනයේදී මෙතෙක් ජනතාව ලෙස ගත් තේ වැරදි තීන්දු රට බංකොලොත් වීමට එක් සාධකයකි. එම තත්ත්වය වෙනස් කරමින්, නව නායකත්වයක් යටතේ රට ගොඩනැගීමට සුදුසුතම අවස්ථාව එළඹ ඇතැයි මර්සුක් මොහොමඩ් අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පෙරමුණේ සමුළු තරුණ සමුළුව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණ.