Spread the love


යෝජිත මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ ජනගත කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර්හිදී පැවැත්විණි.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් නීතිගත කිරීම සඳහා අවශ්‍ය සමාජ පසුබිම සකස් කිරීම හා ඒ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ. මේ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙන අතර දිස්ත්‍රික් මට්ටමේ 24 වැන්න ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ පවත්වන ලදී.

මෙහිදී මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් මැතිවරණ නීති ප්‍රතිශෝධනය සඳහා යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ක්‍රියාවට නැංවීමට මැතිවරණ කොමිෂන් සභාව අනුදත් වැඩපිළිවෙළ හා එහි ඉදිරි දැක්ම පිළිබඳ විග්‍රහයක් සිදු කරන ලදී.

වත්මන් මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව සහ එහිලා සිවිල් සමාජයේ කාර්යභාරය මැයෙන් විශේෂ දේශනයක් සිදු කරන ලද්දේ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES)විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා විසිනි.

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය සඳහා මූල්‍ය දායකත්වය සපයන ලදදේ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) සහ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනම (IFES) විසිනි.

මේ අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම්/ තේරීම් භාර නිලධාරී ජේ.ඩබ්.එස්. කිත්සිරි, අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී. කුලරත්න, ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.ජේ.එස්. මාධව, අධ්‍යක්ෂ (පරියේෂණ හා ක්‍රමසම්පාදන) චන්න පී. ද සිල්වා යන මහත්වරුන්, මාධ්‍යවේදීන්, තරුණ සංවිධාන නියෝජිතයන්, කාන්තා සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.