Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මත කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත් ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට හිමිවන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එදා දේශපාලණික වශයෙන් මතවාදීව ගැටලු පැවති බවත්, එහෙත් වර්තමානයේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්, විදේශ සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයෙකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට අපගේ සහාය ලබාදී තිබෙන බව ද වන්නිආරච්චි මහත්මිය කියා සිටියි.

රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් අවධාරණය කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඒ සඳහා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද සඳහන් කරයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය නගරයේ, මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවයි.

” වසර 70 තිස්සේ රටට මොනව ද කළේ කියල සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ගමට විදුලිය, වතුර ටික , ගමේ පාරවල් හැදුණු හැටි පමණක් ම නොව රටේ දරුණු යුද්ධය ක් තිබුණ කියල ත් දැන් බොහෝ දෙනෙකුට අමතක යැයි ද පැවැසුවාය.

ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශ ගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බව ත්, ඒ අතර තුර කෝවිඩ් 19 වෛරස වසන්ගතය හේතුවෙන් රටට සංචාරකයින් ද නොපැමිණීම හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් අමාත්‍ය වරිය කියා සිටියාය.

මෙම තත්ත්වය හමුවේ ඉන්ධන ආනයනය, ඖෂධ ආනයනය ට ඩොලර් අහිමිවී ගිය බවත් එය රටේ ජනතාවට පීඩා කාරි වාතාවරණයක් නිර්මාණය කළ බව ත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය. ”

රුපියල් ලක්ෂ 350 ක වියදමින් ඉදිකෙරෙන මෙම විකල්ප මාර්ගය ඉදිකිරීමෙන් ඇඹිලිපිටිය නගරයේ පවතින රථ වාහන තදබදය ට තිරසර විසඳුමක් ලැබෙනු ඇත.