Spread the love

කාන්තා ඝාතනවලින් තුනෙන් දෙකක් සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන සම්බන්දයෙන් තමන් විසින් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වි ඇති බැව් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ සඳහන් කළාය.

එම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින් සියයට 75ක් පමණ සිදුවි ඇත්තේ නිවෙස්වලදි බවත්, පොදු හා අනිකුත් ස්ථානවල දි කාන්තාවන් ඝාතනය වී ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවක් බවත් මහාචාර්වරිය පැවසුවාය.

මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.

“මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව තමයි නිවස තුළ දී නැතිනම් පවුල් සංස්ථාව තුළදි ඇති වු ගැටුම්. අනික් කාරණය තමයි කාන්තා ඝාතනවලට සියයට හැටක් විතර සිදුකරලා තියෙන්නේ සැමියා, අනියම් සැමියා පෙම්වතා හා වෙනත් පුද්ගලයෙකු විසින්. “

“හදුනානොගත් පුද්ගලයින් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කරලා තිබුණේ සියයට 18ක් විතර. මේ ප්‍රශ්නයට නිවස තුළ තියෙන ප්‍රශ්නය විසදන්නේ නැතිව කුමන දේ කළත් වැඩක් නැහැ.“

“පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්ධතා, ලිංගික ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩිවශයෙන් හේතු වී තියෙනවා. මෙම පර්යේෂණයට අනුව පොලිස්වලට දෙතුන් වතාවකට වඩා සියයට අටක් පැමිණිලිකරලා තිබුණා. නමුත් පොලිසිය කියන්නේ මෙම පැමිණිලිකරන්නේ දඬුවමක් දෙන්න එපා ආරක්ෂාවෙනුවෙන් කියලා. නමුත් මේ නිසා අවසානයේ පවුල් සංස්ථාවේ ඇතිවු ගැටුම් අවසන්වෙලා තිබුණේ මිනිමරුම්වලින්. “

මේ පිළිබඳ සමාජවිද්‍යාඥයින් විසින්ද මේ ගැන පර්යේෂණ සිදුකළ යුතුව ඇති බැව් මහාචාර්වරිය සඳහන් කළාය. මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ කාන්තා ඝාතන සම්බන්ධයෙන් 2013, 2014, සහ 2015 වර්ෂවලදි බස්නාහිර, දකුණු, නැගෙනහිර, සබරගමුව උතුරුමැද යන පළාත්වල සිදුවු කාන්තා ඝාතන සිද්ධින් 243ක් ඇසුරෙහි සිය පර්යේෂණයක් සිදු කර ඇත.