Spread the love

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර (29) දිනයේදී තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය.

මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය.

පසුගිය 20 වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17 ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.

මෙහිදී සමූහ මිණීවලේ මේ වන විට මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකොට අවසන් වී ඇත.

තවද මෙම සමුහ මිනි වලේ හමුවී ඇති අමතර මිනිස් අස්ථි කොටස් තෙවන අදියරේදී එක්කර ගැනීමට නියමිත අතරම මිනිස් අස්ථි කොටස් සමගින් පතරොම්, උණ්ඩ කොටස්, එල් ටී ටී ඊ සමාජිකයන් හදුනා ගැනීම සදහා පළදින අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇදුමට සමාන ඇදුම් කොටස්, ඇතුලු උපකරණ සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් කැනීම් කටයුතු ආරම්භ කෙරුනු අතර මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශභාර ග්‍රාමසේවක,අවසරලත් සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහි කැනීම් කටයුතු සිදුකරනු ලැබීය.