Spread the love

දිස්ත්‍රික් සංවර්ධන ප්‍රතිපාදන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා සදහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනතාව නොමග යැවීම සදහා තමන්ට ප්‍රතිපාදන නොලැබුණු බව අසත්‍ය චෝදනා කරන බවයි.

පහුගිය අරගල කාලයේ විපක්ෂය දිස්ත්‍රික් සංවර්ධන ප්‍රතිපාදන මන්ත්‍රීවරුන්ට වෙන් කිරීමෙන් ජනතා අවශ්‍යතා ඉටු නොවන බවට අරගල කළ බවත්, ඒ අනුව ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල අනුමැතිය යටතේ ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන්කිරීමට රජය පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ, ආණ්ඩුව විමධ්‍යගත අරමුදල් තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙ‍නෙකුට ලබා දී නොමැති බවට සමගි ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සමගි ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා අතර මෙවන් සංවාදයක් ඇතිවිය.

ගම්පහ දිස්ත්‍රික පා. ම. හර්ෂන රාජකරුණා (ස.ජ.බ)

ඊයේ දිනයේ දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා ප්‍රකාශ කළ පරිදී අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භේදයකින් තොරව විමධ්‍යගත අරමුදල් ලැබුණා. මේ වර්ශයේදීත් විමධ්‍යගත අරමුදල් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. නමුත් මේ කටයුතු කරලා තියෙන්නේ ඉතාමත් අසධාරණ විදිහට සමහර අයට මිලියන 100 ක් සමහර අයට මිලියන 50 ක් ලැබිල තියෙනවා. මම වගේ මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා ඇතුළු විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත මුදල් සතයක් වත් ලැබිලා නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන –

ඊයේත් ඕක කතා කළානේ.

ගම්පහ දිස්ත්‍රික පා. ම. හර්ෂන රාජකරුණා (ස.ජ.බ)

ඊයේ කතා කළත් ඔබතුමා අපේ ප්‍රධානියා මේ පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න බහුතරයකගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා මේ ප්‍රතිපාදන නොලබීම තුළින්. ඔබතුමාට වගකීමක් තියෙනවා ජනාධිපතිවරයාට මුදල් ඇමතිතුමාට කතා කරලා භේදයකින් තොරව කටයුතු කරන්න. ගත්ත අයත් දැන් අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙ. එහෙම අපහසුතාවයට පත්කරන්නද දන්නේ නැහැ ජනාධිපතිතුමා මේ විදිහට බෙදුවේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී . පො. පෙ)

මේ අය පස්සේ රට තුළ වැරදි මත හදනවා. විමධ්‍යගත කියලා මුදලක් වෙන් කළේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන ප්‍රතිපාදන ග්‍රාමීය කමිටු හරහා ව්‍යාපෘති වලට වෙන්කලා. මොකද විපක්ෂය තමයි පහුගිය අරගලය කාලෙත් කිව්වේ මන්ත්‍රීවරුන් තමන්ගේ උවමනා කම් ඉටු කරගන්න ප්‍රතිපාදන වෙන් කරනවා. ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුවෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ග්‍රාමීය කමිටු හදුන්වලා දීලා, ග්‍රාමීය කමිටුවලින් යෝජනා ටික ගෙනල්ලා, ප්‍රාද්ශීය සම්බනධීකරණ කමිටුවට දාලා අනුමත කර ගත්තෙ. එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒවත් වැටිලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ. මෙතුමන්ලා එන්නේ නැහැ. මේගොල්ලෝ මිනිස්සුන්ව මග හැරලා බොරුවට කයිය ගහනවා මෙතනට ඇවිල්ලා.