Spread the love


නිමල් රාජපක්ෂ-

දකුණු පලාතේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් රුපියල් 100 වියදමකින් මාතර රෝහලේ ඉදිකළ නවීන තාක්ෂණයෙන් යුතු ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රය (Optima TM XR646 HD) ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සදහා යොදවන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාදී ඇති මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය දකුණු පළාතටම ඇති එකම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත X-ray පරීක්ෂණ යන්ත්‍රය වේ. මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය රෝහලේ ස්ථාපිත කර සතියක පමණ කාලයක් වන අතර, මේ වනවිට යන්ත්‍රයට මෘදුකාංග ඇතුලත් කිරිම ඇතුලු මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් සහ රෝහලේ මානව හා භෞතික සම්පත් හි පවතින ගැටළු සොයාබලා කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (03) එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
එහිදී මෙම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත X-ray පරීක්ෂණ යන්ත්‍රය සහ එහි මූලික පරික්ෂණ කටයුතු සෞඛ්‍ය ලේකම්වරයාගේ පරීක්ෂාවට ලක්විය.
විශේෂිත වූ X-ray පරීක්ෂණ සදහා මෙම යන්ත්‍රය යොදා ගැනෙන අතර, සාමාන්‍ය X-ray පරීක්ෂණ සදහා ද මෙම යන්ත්‍රය භාවිත කළ හැක. සාමාන්‍ය X-ray යන්ත්‍රයකින් ලබාගන්නා වාර්තාවකට වඩා මෙම යන්ත්‍රය මගින් වැඩි කාලයක් ලබාගෙන මූළු ශරීරයම ආවරණය වන පරිදි X-ray පරීක්ෂණ වාර්තා ලබාගත හැක.

X-ray පරීක්ෂණ සිදු කිරීමේ දී මිනිස් සිරුරට ඇතුලත් කෙරෙන විකිරණ ප්‍රමාණය ඉතා අවම වන අතර, රෝග නිර්ණයට අදාල නිවැරදීම තොරතුරු ලබාගැනීම සදහා වන නවීනතම තාක්ෂණික පහසුකම් වලින් මෙන්ම ස්වසන රෝග හදුනා ගැනීම සදහා වන විශේෂිත වූ මාදුකාංග වලින් මෙම X-ray යන්ත්‍රය සමන්විත වේ. විකලාංග සහ ස්වසන රෝගීන් සදහා ප්‍රධාන වශයෙන් මෙම යන්ත්‍රය යොදා ගැනීමට නියමිතය.
මාතර දිස්ත්‍රික් මහ රෝහලට X-ray පරීක්ෂණ සේවා ලබාගැනීමට දෛනිකව රෝගීන් 150 ක් 200 ක ප්‍රමණයක් පැමිණෙන බවත්, මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 100 ඉක්මවා X-ray වාර්තා ලබාදීමට හැකි වනු ඇති බව රෝහල් නිලධාරීන් මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයාට පෙන්වා දෙන ලදි.