Spread the love

මුල්කිරිගල ගුණරත්න
ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම ඔය දෙපස මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇතැයි වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි . පෙරේදා (01) රාත්‍රියේ සිට අකුණු ගසමින් ඇද හැලෙන මහ වර්ෂාව නිසා කිරම ඔය උතුරා යාමෙන් තංගල්ල වීරකැටිය මාර්ගයේ දංකැටිය වේල්ල ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා සිදුවී තිබේ .

මාර්ගය හරහා ගලා බසින සැඩ ජලකඳ හරහා ගමන් කිරීමට තැත් කල කාන්තාවක් රියදුරු ලෙස කටයුතු කල කුඩා වාහනයක් ගසා ගෙන යාමට ඉඩනොදී ප්‍රදේශවාසී තරුණයින් ගලවා ගෙන ඇතැයි පොලිසිය පැවසීය .
බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේ දම්මුල්ල වේල්ල සහ බෙලිඅත්ත – හක්මණ මාර්ගයේ ගොඩවෙල හංදිය අසල වේල්ල අසල මාර්ගය ඊයේ (02) උදෑසන වන විට අඩි තුනක් පමණ ජලයෙන් යටවීම නිසා එහි වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි . තංගල්ල – බෙලිඅත්ත මාර්ගයේ සිටිනාමලුව වේල්ලද ජලයෙන් යටවී තිබේ . වලස්මුල්ල – හදුගල හරහා මාවරල ප්‍රධාන මාර්ගයේ පුවක්ගහහේන ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගයට කඩා වැටී එහි වාහන ගමනාගමනයට බාධා සිදුවී ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි .
මේ අතර වලස්මුල්ල වීදපොල ප්‍රදේශයේ නිවාස දෙකක් අසලට පස් කදු කඩා වැටී තිබේ . පුවක්ගහහේන ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්යකට හානි සිදුවී ඇති අතර එනිසා ප්‍රදේශයේ විදුලි බලය ඇනහිට ඇතැයි ප්‍රදේශවාසියෙකු පැවසීය .

වලස්මුල්ල – රාජපුරගොඩ මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයද ජලයෙන් යටවී තිබේ . වලස්මුල්ල – පල්ලෙකන්ද මාර්ගයේ යායඔය පාලම අසලින් කිරම ඔය උතුරා යාමෙන් මාර්ගය ජලයෙන් යටවී එහි වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා සිදුවී තිබේ .

බෙලිඅත්ත අගුල්මඩුව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇතැයිද පොලිසිය පවසයි . මේ අතර කිරම ඔය පිටාර ගැලීම නිසා පැලපත ගොයම සහිත කුඹුරු ජලයෙන් යටවී ඇතැයි වලස්මුල්ල ගොවි සංවිධානයේ නියෝජිතයකු පැවසීය .


කිරම වරාපිටිය වැව සහ කැකිරිඕබඩ ජලාශය පිටාර මට්ටමට පැමිණි නිසා පෙරේදා (01) රාත්‍රි එහි වාන් දොරටු විවෘත කල බවද කිරම ඔය දෙපස පහත් බිම් වල නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයිද වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය . ජේ.සී.බී.යන්ත්‍රයක් යොදවා කිරම ඔයේ කපුහේන්වල මෝය කැපීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .