Spread the love

මහල් නිවාසවල ජීවත් වන නිවැසියන් 50,000 කට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවිය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි.මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ලැබූ 2024 අයවැය යෝජනා වලට අනුවයි.
මෙම හිමිකම් ඔප්පු ලබාදීමේදී ඒ සඳහා දැරිය යුතු නොතාරිස් ගාස්තු, මුද්දර ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන ගාස්තු ද රජය විසින් දැරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විවිධ නාගරික වැඩසටහන් යටතේ අඩුආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබාදී තිබෙන නිවාස වලින් මාසිකව රුපියල් 3,000 ක පමණ මුදලක් අයකර ගැනේ. ඇමතිවරයා පවසන්නේ මෙම ඔප්පු ලබා දීමේ වැඩසටහන අනුව එම කුලී මුදල් අයකර ගැනීමද සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.
‍නීත්‍යානුකූලව ඉඩම් හා නිවාස හිමිකම් ඔප්පු ලබාදී මෙරට ජනතාවගෙන් සියයට 70ක් පමණ ඉඩම් හා නිවාසවල උරුමක්කරුවන් බවට පත්කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
අඩු අදායම්ලභීන් සඳහා නිවාස ඔප්පු ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනවල පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන තිබේ.
මෙම නිවාසවල හිමිකරුවන් වෙත නීත්‍යානුකූල ඔප්පු ලබාදීමෙන් අනතුරුව පදිංචි ජන කොට්ඨාශයන්ගේ නියෝජනයකින් පිහිටවිය යුතු සහාධිත්‍ය කළමනාකරණ සංස්ථාවක් මගින් මෙම නිවාසවල නඩත්තුව හා කළමනාකරණ කටයුතුද සිදු කිරීමට අපේක්ෂිතයි.