Spread the love

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටී.

බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඔහුට එරෙහිව පාර්ශ්ව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

එවන් පසුබිමක ඔහු ඊයේ (21) සිංගප්පූරුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අදාළ ප්‍රකාශයෙන් සිදු වූ සිත්තැවුල ගැන තමා සමාව අයදින බවය.

මේ පිළිබඳව අද මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ සමාව ඉල්ලූ පමණින් පරීක්ෂණ කටයුතු අවසන් කළ නොහැකි බවය.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ අද බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා හට සංදේශයක් භාර දුනි.