Spread the love

පසුගිය වසරේ මැයි මස 09 වන දා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (22) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස නව වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි දන්වා සිටියේය.

එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විරුද්ධ වුණි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

මැයි මස නව වනදා ඇතිවූ සිද්ධීන්වලින් පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් තිස් නවදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.