Spread the love

යුක්තිය මෙහෙයුම යටතේ රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් දෛනිකව ක්‍රියාත්මක වීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අලෙවි කිරීමට මුදල්වලට ගිජුකමක් දක්වන ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් යොදාගන්නා බව බුද්ධි අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

මෙසේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කිරීමට සම්බන්ධ වූ කෝපායි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයකු ත්‍රිකුණාමලය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් පෙරේදා (10දා) අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජාවාරම්කරුවන්ගේ මෙම අලුත්ම සැලසුම් හෙළිවී තිබේ.

සැකකාර කොස්තාපල්වරයා හොරොව්පතාන ප්‍රදේශයේ සිට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් ද රැගෙන ත්‍රිකුණාමලය බලා වෑන් රථයක යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් විය. සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ යාපනය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙම අයිස් මත්ද්‍රව්‍ය තමාට ලබාදුන් බවයි.

යුක්තිය මෙහෙයුම යටතේ රටපුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන නිසා මෙම අයිස් මත්ද්‍රව්‍ය පොලිසියට හසු නොවී ආරක්‍ෂිතව රැගෙන ගොස් අලෙවි කිරීමට තමාට භාරදුන් බවද සැකකරු පාපොච්චාරණය කර ඇත.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මෙම නිලධාරියා පොලිස් සේවයට එක් වී ඇත්තේ ඉකුත් 2021 වර්ෂයේදීය. මොහු කෝපායි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අතර පසුගිය දින 20ක කාලසීමාව පුරා අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණ නැත. සැකකරු මෙසේ නිවාඩු ලබාගත් කාලසීමාව පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයටත් අලෙවියටත් සම්බන්ධ වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් පරීක්‍ෂාවන්ට ලක් නොවන නිසා ඔවුන් මෙසේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අලෙවි කිරීමට සම්බන්ධ කර ගැනීමට මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් උත්සාහ කරමින් සිටින නිසා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇත.

ඒ අනුව සැකකටයුතු ආකාරයට හැසිරෙන ආරක්‍ෂක අංශ සාමාජිකයන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ආරක්‍ෂක අංශ සාමාජිකයන් පාවිච්චි කරන වාහන සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් සිට සැකකටයුතු වාහන පරීක්‍ෂා කිරීමේ මෙහෙයුම් ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.