Spread the love

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුර, නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.