Spread the love

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතු බව රණවක මහතා සඳහන් කරන ලදී.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (30) දින එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැවුවල ප්‍රදේශයේ පවත්වනු ලැබූ ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික දිල්ශාන් මුතුකුමාරණ මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ, උපසභාපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) තිලක් උභයවර්ධන හා තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන්ද සම්බන්ධ විය.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;

ප්‍රශ්නය: ඔබතුමාට ප්‍රශ්නයක් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක ද?, එහෙම නැත්නම් අර ඔබතුමා කියන යම්කිසි කණ්ඩායමක් එක්ක විතරද?

පිළිතුර: ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රිලත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ජනතාවගේ නියෝජිතයෝ සහ ඒගොල්ලෝ මේ රට වෙනුවෙන් යම් වැඩ කොටසක් කරපු පිරිසක් බව. හැබැයි ඉතින් රට බංකොලොත් කිරීමට වගකිව යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරපු පිරිසක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ ඉන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා මූලික වශයෙන්. එතකොට ඒගොල්ලෝ විසින් නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරය එක්ක අපි හිටගන්නවා කියන්නේ, මේ රට බංකොලොත් වීමට වගකිවයුතු පිරිසක් එක්ක අපි හිට ගන්නවා කියන එකයි. අපි හැමදාම දේශපාලනය තේරුවේ, රටේ බරපතලම ප්‍රශ්නයට සාපේක්ෂව. එතකොට ඒ බරපතලම ප්‍රශ්නයේ වගඋත්තරකරුවොත් එක්ක අපිට හිටගන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එක්ක අපි වැඩ කරගෙන යනවා. වැඩ කරලා තියෙනවා. අපේ පාර්ලිමේන්තු කමිටුවල වැඩ කරලා තියෙනවා. අපට ඒ අය පිළිබඳ දේශපාලන වශයෙන් විශාල ප්‍රශ්නයක් නැහැ.