Spread the love


නිම්ල් රාජපක්ෂ-

..

පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. “Travel to pilikuththuwa” ලෙස එම ව්‍යාපෘතිය නම් කර ඇත. මහර සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

අඩි 400 – 450 ක් පමණ උස කදු ගැටයක් සහිත අක්කර 250 ක් තරම් භූමි භාගයක මෙම පිළිකුත්තුව කන්ද පිහිටා තිබේ. ඉන් අක්කර 52 ක ප්‍රමාණයක් පිළිකුත්තුව රජමහා විහාරය සතු වෙයි. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමිය මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස සැලකේ. බස්නාහිර පළාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙස ද එය හැදින්වෙයි. මෙහි ගල් ලෙන් 99 ක් පමණ තිබෙන අතර ඒ අතර කටාරම් රහිත ලෙන් කිහිපයක්ද දැකිය හැකිය. එම කටාරම් රහිත ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇතැයි සැලකේ.

පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ වන තෙක් අතීතයට දිවෙයි. එම කාලයේදී මෙම වණ අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පිරිදි වැඩි දියුණු කොට තිබු බව පුරාවිද්‍යා ලේඛන වල සදහන්ය. මෙම විහාරස්ථානය දේවානම්පිය තිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙසත් සැලකේ. මෙම ප්‍රදේශයේ කරනු ලැබු කැණීම් වලදී ඉපැරණි පොසිල, රක්ත වරණ වළං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ සහ පොලොන්නරු යුගයට අයත් කාසි වර්ග හමුවී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන චාරිකාව පැවැත්විණ. මෙම අධ්‍යයන චාරිකාවට නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ, කලුතර සහ බස්නාහිර පළාත් කාර්යාලවල සැලසුම් නිළධාරීන් සහභාගී වූහ.