Spread the love

අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්,ඊට වගකිවයුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝග තත්වය තුරන් කිරීමේ සඳහා ජනතාව දැනුවත් කිරීමට ඊයේ (02 ) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැති පා ගමනට එක්වෙමින්ය.


පැතිකුද රෝගය පිටුදැකීම සඳහා ආසියාවේ පැවති විශාලතම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනතාව දැනුවත් කිරීමේ මෙහෙයුම අරඹමින් මේ පා ගමනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද ලෝකයේ දරුවන්ගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිවෙන මෙම රෝග තත්ත්වයන් නොසලකා හැරීම නිසා දරුවන් විශාල පිරිසක් කඳු ඇට ආශ්‍රිත බරපතළ රෝගවලට ලක්වන බවත්, එම නිසා මේ පා ගමනින් ප්‍රකාශ කරන කරුණු සලකා බලා හෝ අධ්‍යාපන බලධාරීන්ගේ ඇස් විවර වී,දරුවන්ට සැහැල්ලුවෙන් අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.

පැතිකුද රෝගය පිළිබඳව ලෝකයේ වැඩිහිටි ජනතාව අතර පවතින අවම දැනුම නිසා එම රෝගයෙන් දරුවන් බේරා ගැනීමට ඇති හැකියාව අවම වී ඇති බවත් එම නිසා මෙම රෝග තත්ත්වය පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව මෙම පා ගමන සංවිධානය කළ සෙරන්ඩිබ් සමූහයේ හා ලංකා ඊ ඩොක් (Lanka E Doc) සමාගමේ සභාපති ආචාර්ය නිලූකා වැලිකළ මහත්මිය පැවසුවාය.
ඒ අනුව පැතිකුද රෝගය පිළිබඳ පැතිකුද රෝග තත්ත්වය සහ එහි ප්‍රාථමික ලක්ෂණ පෙන්වන දරු දැරියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම සායනයට සහභාගි වූ බවත් ඉන්දීය සහ දේශීය විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන් පරීක්ෂා කර බලා අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කළ බව ආචර්ය වැලිකල මහත්මිය පැවසුවාය.

අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්විල ආනන්ද නා හිමිපාණන්,පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති වෛද්‍ය ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ ඇතුළු ඉන්දීය හා දේශීය විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙම පා ගමනට සහභාගී වූහ.