Spread the love

ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවය.

නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට වෙළෙඳපොළ ආක්‍රමණය කර අවසන්ය.

වෛද්‍යවරුන් පවසන්නේ පැන්සල් සහ පාට පැන්සල්වල ආලේප කර තිබෙන තීන්ත සහ මිනිරන් හෝ පාට පැන්සල් කූර ප්‍රමිතියෙන් යුක්ත නොවීමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවය.

දරුවන් ඒවා භාවිත කිරීමේදී මුඛයෙන් සැපීමකට ලක්කිරීම හරහා ඊයම් වැනි බැර ලෝහ ශරීරයට ඇතුළු වීමේ අවස්ථාව තිබේ.

නමුත් අන්තර්ජාතික ප්‍රමිතියට අනුව දරුවන් භාවිත කරන පැන්සල් හා පාට පැන්සල් EN71-3 යනුවෙන් සහතික කර ඇති අතර එමගින් ශරීරයට අහිතකර බැර ලෝහ 19කින් ආරක්ෂාව ලබාදේ.

මේ අතර දරුවන් එදිනෙදා භාවිත කරන වතුර බෝතල් හා කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ ඝෘජුවම ආහාර තුළින් සිරුර හා සම්බන්ධ වීමෙන් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතුය.

වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේදී ඒ ඒ උපකරණවල පතුල මත BPAවලින් තොර හෝ අංක 5 සටහන් කර ඇත්නම් ඒවා භාවිතයට සුදුසු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි