Spread the love

ව්‍යාජ ලෙස සකස්කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32,46 යන වයස්වල පසුවන තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් විසින් සියඹලාගස්වැව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව එම නිවසේ දෝෂ මගහරවා ගැනීමට රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කරන ලෙසට පවසා ඇත.

ඒ අනුව නිවැසියාගෙන් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බව පවසා ලක්ෂ 03ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුව රන් ආලේපිත අනුරුවක් ලබාදී තිබේ.

නිවැසියන් විසින් පසුව එම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළෙඳසැලකින් පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එය ව්‍යාජ රන් ආලේපිත අනුරුවක් බවය.

ඒ අනුව නිවැසියන් විසින් මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මුදල් ලබාගැනීමේ අරමුණින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙසටය.