Spread the love

මෙරටට ගෙන්වා තිබූ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් තොගයෙහි ලේබල්වල සඳහන් නිෂ්පාදිත ඉන්දියානු සමාගම ඖෂධ නිෂ්පාදනය නොකරන සුදු ලූනු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන ආයතනයක් බවට පෙරේදා (10) තහවුරු කරගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (11) ප්‍රකාශ කළේය.
අදාළ ඖෂධයෙහි ලේබල්හි සඳහන් සමාගම සමඟ විද්‍යුත් පණිවුඩ හුවමාරුවකින් මේ බව තහවුරු කරගත් බවත් එවැනි ඖෂධයක් ලංකාවට හෝ වෙනත් රටකට එම සමාගමෙන් අපනයනය කර නැති බවට තහවුරු කළ බවත් ඒ මහතා පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන භාවිත කරමින් ව්‍යාජ ලියැවිල්ලක් සකස් කර පසුගියදා මෙරටට ඉමියුනොග්ලොබින් එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වා තිබිණි.

මෙම ඖෂධ තොගය ගෙන්වූ බවට සැක සහිත ආයතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බවත් එම ස්ථානය මේ වන විට වසා දමා ඇති බවත් වෛද්‍ය ගුණසේකර මහතා පැවසුවේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියට එහා ගිය කර්තව්‍යයක් කරමින් මෙම තොරතුරු සොයාගත් බවත් තවදුරටත් එහි විමර්ශන කටයුතු අධිකරණය හා පොලිසිය මඟින් කළ යුතු බවත් හෙතෙම පැවසීය. මේ අතර ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ඖෂධ තොගය ගෙන්වූ සමාගම මඟින් රිටියුක්සිමැබ් නමැති එන්නත් තොගයක් ද ගෙන්වා ඇති බවට පෙරේදා (10) තොරතුරු වාර්තා වීමත් සමඟ එම ඖෂධ තොගය ද භාවිතයෙන් ඉවත් කළ බවද ඒ මහතා කීවේය.

රිටියුක්සිමැබ් මිලිග්‍රෑම් 500 එන්නත් වයල් 2250 ගෙන්වා ඇති බවත් එම එන්නත් පිළිකා රෝගීන්ට භාවිත කරන බවත් ඒ මහතා පැවසුවේය. මෙම ඖෂධය භාවිතයට නුසුදුසු බව මාතර මහ රෝහලෙන් වාර්තා කිරීමත් සමඟ අදාළ ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එය ද ව්‍යාජ ලෙස ලියකියවිලි සකස් කර ඉමියුනොග්ලොබින් ඖෂධය ගෙන්වූ ආකාරයට ගෙන්වා ඇති බවට තහවුරු වූ බව ද වෛද්‍ය ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව තවත් ඖෂධයක් ව්‍යාජ ලෙස ගෙන්වීමට ලියකියවිලි සකස් කර ඇති බවට වාර්තා වීමත් සමඟ අදාළ ඖෂධයේ ඇණවුම අත්හිටුවූ බව ද හෙතෙම පැවසීය.