Spread the love
               

නිමල් රාජපක්ෂ-

ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ක්‍රියාත්මක පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ට උපදෙස් දෙයි.
අමාත්‍යවරයා පසුගිය 16 දින පලාලි ගුවන් තොටුපලේ සිදු කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 රැගෙන “එලායන්ස්” සමාගමට අයත් ගුවන් යානයක් මෙහෙයුම් කටයුතු සිදු කරයි.
ඉදිරියේදී ඉන්දියාවේ “ඉන්ඩිගෝ” සමාගමට අයත් ගුවන්යානා ද චෙන්නායි සහ පලාලි අතර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අමතරව රත්මලාන ගුවන් තොටුපලේ සිට සෑම සතියකම “ඩී.පී ඒවේෂන්” සමාගමට අයත් ගුවන්යානා 04 ක් සහ “සිනමන් එයාර් ” සමාගමට අයත් ගුවන්යානා 04ක් කටුනායක ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි.
මෙම ගුවන් මෙහෙයුම් ඉදිරියේදී වැඩි වීම හේතුවෙන් පලාලි ගුවන් තොටුපලට පැමිණෙන සහ ඉන් පිටවන ගුවන් මගීන්ගේ පහසුකම් වැඩි දියුණු කල යුතු බව අමාත්‍යවරයා පලාලි ගුවන් තොටුපලේ දී පැවසීය.
මෙම පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් පමණ වැය කිරීමට සිදු වන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය.
මෙම වැඩ පිලිවෙල යටතේ දැනට තිබෙන මගී පර්යන්තය පුළුල් කිරීම,තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම, ආගමන විගමන සහ රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම,ඇතුළු යටිතල පහසුකම් වැඩි කිරීමට සැලසුම් කරනු ඇත.