Spread the love

දහස් සංඛ්‍යාත මහජන විරෝධතා මැද ඒකාධිපතිවාදය තවදුරටත් ප්‍රදර්ශනය කරමින් නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික ආයතනයක ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට කඩිනමින් ගොඩනැගිල්ල භාරදීමට කටයුතු කරන ලෙස ලිපියකින් දන්වන තියෙනවා එයට විරෝධය පාමින් නඩු මගට යෑමට සූදානම් බව සමස්ත ලංකා ගොවි ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නුවරඑළියේදී කියයි.

ඒ මහතා ඒ බව කියා සිටියේ නුවරඑළිය තැපැල් කාර්යාලය ඉතිහාසය පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවට එකතු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවි ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේද කීය.

නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි නුවරඑළියෙ සලකුණ හැටියට හඳුන්වන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංචාරක නැරඹුම් මැදිරියක් හැටියට ක්‍රියාත්මක වන වසර 129 ක පෞරාණික හා ඓතිහාසික වටිනාකමකින් යුත් 1876 ඉදිකිරීම් ආරම්භ කර 1894 වසරේ සිට තැපැල් හලක් හැටියට ක්‍රියාත්මක වූ බවට සාක්ෂි සාධක ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් තැපල් කන්තෝරුව ආයෝජන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට දහස් සංඛ්‍යාත මහජන විරෝධයද නොතකා පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ලිපියක් යොමු කර තිබෙනවා.

රනිල් රාජපක්ෂ දිගින් දිගටම කරන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු නොකර හිතුමතේ ක්‍රියා කිරීමක්. ලියුම් නෙමේ මොනව ගැහුවත් මේ වගේ ඓතිහාසික වටිනාකම් තියෙන ස්ථාන දෙන්ඩ අපි ඉඩ දෙන්නෙ නැහැ.

මේ තැපැල් කාර්යාලය විතරක් නෙමෙයි නුවරඑළිය පිහිටි ගොවිපලවල් වලට අදාල භූමි ප්‍රදේශයක් අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවට අයත් භූමි ප්‍රදේශයක් ද අත්තනෝමතික ලෙස ඉන්දියාවට විකිනීමේ සැලසුමක් දියත් කරගෙන යනවා.

ඒ විතරක් නෙමේ අහිංසක ගොවියා පානය සදහා ලබාගන්නා ජලයටත් වගා බිමක ලබාගන්නා ජලයටත් බද්දක් ගහන්නත් පනත් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. රනිල් රාජපක්ෂලා මේ හැමදේම විකුණන කම් බලාගෙන ඉන්න අපි සූදානම් නෑ.

උඹලට තියෙන්නේ තව මාස කිහිපයි ඒ මාස කීපය තුළ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ බූදලයක් වගේ එක එකාට ලියලා දෙන්න සින්නක්කර ඔප්පුවකින් මේවා භාර දීල නැහැ

මේ කරුණු කාරණා කිහිපයම සැලකිල්ලට ගනිමින් අපි නඩු තුනක් ගොනු කරන්න මේ වන විට වනවිට කටයුතු සූදානම් කරගෙන යනවා. මේ වැඩ මෙතනින් නැවැත්තුවේ නැත්නම් රජය වෙනස් කර හෝ මේ ක්‍රියා කලාපයන් වෙනස් කිරීමට අපි මහජනතාව පෙළ ගස්වනවා. මේක වචනෙකට කියන දෙයක් නෙමෙයි අපි කරලා පෙන්නනවා.