Spread the love

බොටම් ට්‍රෝලිං ක්‍රමය තුලින් ඉස්සන් ඇල්ලීමට අවශ්‍ය නීති සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ටඅමාත්‍ය දේවානන්දා උපදෙස් ලබා දෙයි.

ඉන්දියානු බොටම් ට්‍රෝලිං යාත්‍රා තුළින් ශ්‍රී ලංකාව අවට මුහුදේ සිදු කරන අනවසර ධීවර කර්මාන්තය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාගර සම්පත විශාල ලෙස විනාශ වීම නිසා බොටම් ට්‍රෝලිං ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ තහනම් කිරීම සිදුවිය.
එසේ තහනම් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ කුඩා පරිමාන කල්පිටිය, මන්නාරම, යාපනය යන ප්‍රදේශයන් තුළ ඉස්සන් ඇල්ලීමේ යෙදී සිටි කුඩා පරිමාන බොටම් ට්‍රෝලිං ක්‍රමයෙන් යොදා ගනිමින් ඉස්සන් ඇල්ලීම සිදු කරන ධීවරයන්ට ඔවුන්ගේ කර්මාන්තය කරගෙන යාමට නොහැකි බව පැවසීමෙන් පසු ධිවර ඇමතිවරයා මේ පිළිබදව වහාම පරික්ෂණයක් පවත්වන ලෙස නාර ආයතනයට උපදෙස් දී තිබේ .
එම පරික්ෂණ වාර්තාවට අනුව ලංකාවේ අපනයනයට සුදුසු ඉස්සන් බෝවන කල්පිටිය, මන්නාරම, යාපනය මුහුදු ප්‍රදේශවල එම ඉස්සන් ඇල්ලීම කුඩා ප්‍රමාණයේ බොටම් ට්‍රෝලිං බෝට්ටු වලින් දීර්ඝ කාලයක් සිදු වු අතර එමගින් ඉන්දියානු මහා පරිමාන බොටම් ට්‍රෝලිං වලින් මෙන් සාගර සම්පත් වලට හානියක් සිදු නොවන බවත් එම ස්ථාන වල ඉස්සන් ඇල්ලීම සිදු නොවුනහොත් ඉස්සන් බෝවීම නතර වි ඒ වෙනුවට ඉස්සන් ආහාරයට ගන්නා කාරල්ලන් බෝ වීම නිසා එම ඉස්සන් වගාව විනාශ වී යන බවත් සදහන් කර ඇත.
මෙම ප්‍රදේශ වල බොටම් ට්‍රෝලිං ක්‍රමයෙන් ඉස්සන් ඇල්ලීම සිදු කිරීමට නිර්දේශ කරන බවත් මෙම ක්‍රමයෙන් ඉස්සන් අල්ලන ප්‍රදේශවල ධිවරයින්ට ඒ සදහා අවස්ථාව ලබා නොදුන හොත් එම ප්‍රදේශවල සිටින දහස් ගණනක ධීවරයන්ගේ රැකියාව අහිමි වන බවද වාර්තාවේ සදහන්ව ඇත.
මෙම වාර්ථාව ගැන අධ්‍යයන කල අමාත්‍යවරයා මෙම ප්‍රදේශ වල බොටම් ට්‍රෝලිං ක්‍රමය තුලින් ඉස්සන් ඇල්ලීමට අවශ්‍ය නීති සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, නාරා ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු පිරිසක් සහභාගී විය.